Sunday, November 15, 2020

පිශාචයන්ගේ නිම්නය😲

                යූටාවේ “පිශාචයන්ගේ නිම්නය




                         සැන් රෆායල් පරය ආශ්‍රිතව පිහිටා තිබෙන ගොබ්ලින් වැලී ජාතික උද්‍යානය සංචාරකයන්ගේ නෙත් සිත් ආකර්ෂණය කරගන්නේ එහි පවත්නා අසාමාන්‍ය පෙනුමෙනි. එහි භූගෝලීය ආකෘතිය මවාලන්නේ මෙලොවින් එපිට පවත්නා යම් ස්ථානයක ස්වභාවයකි. කාලාන්තරයක් පුරා සිදු වූ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙකී නිම්නයෙහි නිර්මාණය වුණු වැලිගල් ආකෘතීන්හි පවත්නා අද්භූත ස්වභාවය සැබවින්ම පුදුමාකාර ය. මෙකී භූගෝලීය පිහිටීම තරමක් අඟහරු ග්‍රහයා මත පවත්නා භූගෝලීය ස්වභාවයට පෙනුමින් සමාන වේ. ගවේශනයට, කඳවුරු බැඳීමට, කඳු තරණය කිරීමට, කඳු ආශ්‍රිතව සිදු කරන බයිසිකල් පැදීමේ ක්‍රීඩා කටයුතුවල නිරත වීමට, ගොල්ෆ් ක්‍රීඩා කිරීමට, රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම ආදී ක්‍රියාකාරකම් කිරීමට, අවට පවත්නා ගැඹුරු දොරු දිගේ ගමන් කරමින් ඒවා නැරඹීමට මේ කරා පැමිණෙන සංචාරකයන්ට ඉඩ ප්‍රස්තාව පවතී.



1920 ගණන්වල දී ෂැ‍ෆින් නමැති පුද්ගලයා ග්‍රීන් රිවර් සහ කේන්විල් අතර විකල්ප මාර්ගයක් සෙවීමෙහි දී මෙකී ඉසව්ව අනාවරණය කරගැනිණි. ඉන් පෙර මෙය රහසිගත ස්ථානයක්ව පැවති අතර ඒ පිළිබඳ දැන සිටියේ ප්‍රදේශයේ එ‍ඬේරුන් කිහිපදෙනෙකු පමණි.  මෙකී විචිත්‍රවත් කාන්තාර කඳු පන්ති සුමට වැලිගල් කුට්ටිවලින් සැකසී තිබෙන අතර ඒවායෙහි ශීර්ෂයන් වියළි මඩ තට්ටු තැන්පත් වී උස් වී ඇත. 1950 දශකය වන විට මෙම නිම්නය බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ අතර එය ආරක්ෂා කරගැනීම සඳහා විධිවිධාන සලස්වාලීම පිළිබඳ විශාල කතිකාවතක් ද ඉස්මතු විය.  මෙම භූමිය ආරක්ෂා කරගැනීමේ අදහස පෙරදැරි කරගනිමින් යූටා ජනපදය 1964 දී මෙම භූමිය අත්පත් කරගන්නා ලද අතර, පසුව එය ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලදී.



මෙම උද්‍යානය තුළ සංචාරකයන්ගේ අවධානයට බොහෝ සෙයින් යොමු වන්නේ උද්‍යානයේ මධ්‍ය ප්‍රදේශයයි. හෑන්ක්ස්විල් නමැති කුඩා නගරයට කි. මී. 19ක් ඔබ්බෙන් සැන් රෆායල් කාන්තාරයෙහි කෙලවර පිහිටා තිබෙන මෙම උද්‍යානය කරා ළඟා වීමට අද වන විට නව මාර්ගයක් පවා සකසා ඇත. බැලූ බැල්මට බිම්මලක ස්වභාවය පෙන්නුම් කරන, බහිරව ආකෘතියක් සහිත, ජුගුප්සාජනක හැඟීමක් මතු කරවන, කොත් ආකාර මුදුනක් සහිතව සැකසී තිබෙන වැලිගල් ආකෘති දහස් ගණනක් මෙම නිම්නය පුරා පැතිරී පවතිමින් සංචාරක දෑස්වලට නිරන්තරයෙන් ආමන්ත්‍රණය කරයි. වසර මිලියන ගණනාවක් පුරා වර්ෂාවට සහ සුළඟට මුහුණදුන් කාන්තාරයේ සොඳුරුතම නිමැවුමක් ලෙස ගොබ්ලින් නිම්නයේ වාමන රූප හඳුනාගත හැකිය. මෙම නිම්නය පුරා ඇවිද යාම පහසු ය. ඒ පුරා පැතිර පවත්නා මාර්ග ත්‍රිත්වය හරහා ගමන් කරන සංචාරකයන්ට ස්වභාව ධර්මයේ සොඳුරුතම නිර්මාණයන් ගණනාවක් මුණගැසීමට නියමිතය.



මෙම උද්‍යානයට ඇතුළු වූ පසුව ප්‍රථමයෙන්ම ගමන් කිරීමට නියමිතව තිබෙන්නේ කෙටි විවරයක් සහිත දොරු ද්විත්වයක් පරිශ්‍රයෙහි පවත්නා මාර්ගයක් හරහා ය. ඉන්පසු නැගෙනහිර දෙසට විහිදී යන තෘණ තලාවක් හමුවනු ඇත. මෙකී තණ තලාව වට කරගනිමින් ඒ මධ්‍යයේ හුදෙකලා රූප ත්‍රිත්වයක් උසට නැගී ඇත. නොගැඹුරු දොරු පටු වුව ද අඩි සිය ගණනක් දුරට විහිදෙන අතර, ඒ තුළ ඇති ගල් මතට වැටෙන හිරු එළිය විසින් විවිධ විචිත්‍රවත් ආලෝක රටා මවාලනු එහි සංචාරයෙහි යෙදෙන ඔබට දැකගත හැකි වනු ඇත. මෙම නිම්නයෙහි ඇතැම් ඉසව් ඔස්සේ ඇවිද යාමට සංචාරකයන් එතරම් ප්‍රියතාවක් නොදක්වන්නේ එම ස්ථානයන්හි පවත්නා භූමි ලක්ෂණ ප්‍රමාණයෙන් සහ හැඩයෙන් සමාන වන බැවිනි. ගිනිකොණ දෙසට වන්නට පිහිටා තිබෙන ආකෘතීන්ගේ විවිධත්වය වඩාත් වැඩි අතර එනයින්ම සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වේ.

                                      


පාෂාණ ස්ථරයන් එක්රැස් වී විශාලනයට ලක් වූ සුදු, අළු, රත් පැහැයෙන් යුක්ත ගල් මෙම නිම්නය පුරා පැතිර පවතිනු දැකගත හැක. නැගෙනහිර දෙසින් මෙම නිම්නයට ගිරි කඳුරක් සම්බන්ධ වන අතර එහි බෑවුම් කලාපයෙහි මුදුනත වඩාත් සංකීර්ණ, වඩාත් උසින් යුත්, සහ එකිනෙකට වඩාත් ළඟින් පිහිටා තිබෙන ආකෘතීන් පිහිටා තිබේ. මෙහි බෑවුමට වන්නට විකෘති හිස් කබල් ආකාරයෙන් සැකසුණු වැලිගල් ආකෘති දහස් ගණනක් දැකගත හැක. මේවා දුටුවන් තුළ බිය උපදවන ආකාරයේ ස්වභාවික නිර්මාණයන්ය. මෙහි පවත්නා ඇතැම් ව්‍යුහයන් සිහින් ඇටසැකිලි, අස්ථි කැබලි මෙන් ඇතැම් තැන්හි දර්ශනය වේ. මෙකී ගිරි කඳුරෙහි මුදුනත මතට නගින්නෙකුට සැන් රෆායල් කාන්තාරයෙන් ඔබ්බට පවත්නා දර්ශන පථය පවා දෑසට හසු කර ගත හැකි වන්නේ ය. සාමාන්‍ය රවුම් හැඩයෙන් යුත් ආකෘතීන්ට, සහ සිරස් අතට නැගුණු ආකෘතීන්ට අමතරව තිරස් ආකෘතීන් ද, කුඩා ගුහාවන් ද, කුඩා ආරුක්කු ද පැති ගිරි කඳුර ආශ්‍රිතව දර්ශනය වේ.

                                      


මෙකී ගිරි කඳුර ආශ්‍රිත කලාපයෙහි බැලූ බැලූ අත දක්නට ලැබෙන්නේ රත් දුඹුරු පැහැයකි. අතරින් පතර දිසෙන දීප්තිමත් කොළ පැහැති පඳුරු කිහිපයක් හැරුණු කොට මෙකී සමස්ත කලාපයෙහිම පවතින්නේ වියළි පෙනුමකි. නව මෙක්සිකෝවෙහි පවත්නා මීට තරමක් දුරට සමානකමක් දක්වන ආ-ශි-ස්ලෙ-පා භූමියෙහි මෙන් වර්ණ විවිධත්වයක් මෙහි නැත. ගොබ්ලින් නිම්නයේ බටහිර දෙසට වන්නට වැලි කඳු, මඩ කඳු, ඇඹරුණු හැඩයෙන් යුත් විවිධ ප්‍රමාණයේ කුඩා ගිරි කඳුරු, සහ සී සී කඩව විසිරී පැතිරී පවත්නා පාෂාණමය ආකෘති දැක ගත හැක. මෙකී ගොබ්ලින් ආකෘති සැකසී තිබෙන්නේ Entrada නමින් හැඳින්වෙන වැලිගල්වලිනි. ඊට අමතරව ක්‍රීම් පැහැයෙන් දිස්වන පාෂාණ වර්ගයක් ද මෙම භූමිය ආශ්‍රිතව දැකගත හැක. ගොබ්ලින් නිම්නයේ කඳු මුදුන් මත බොහෝ තැන්හි අළු සුදු පාෂාණ ස්ථරයක් ද දැකගත හැක.



ඉතා ඈත අතීතයේ දී මෙම භූමිය ආශ්‍රිතව මුහුදක් ද පැවතී ඇත. මෙකී පාෂාණ ආකෘතීන්හි නිර්මාණකරණය ඒ අනුව වසර මිලියන 170ක් පමණ ඈත අතීතය දක්වා දිව යයි.

Sunday, November 8, 2020

කොලෝසියම් 😍

 කොලෝසියම් රඟහල 



රඟහල යන වදන ඇසීමෙන්ම අප තුළ මතුවන්නේ අතිශය රසවත් හැඟීමකි. නමුත්, රෝමය තුළ බලය විහිදූ වෙස්පාසියානු අධිරාජ්‍ය යුගයේදී ආරම්භ කොට, වහලුන් 60,000කගේ පමණ ශ්‍රමයෙන්, වසර 10ක් පුරා ඉදි වී, ක්‍රි.පූ. 80දී වෙස්පාසියානු උරුමක්කරු ටයිටස්ගේ පාලන අවධියේදී ඉදිකිරීම් අවසන් කරන ලද රෝමයේ කොලෝසියම් රඟහල පිළිබඳ ඇසූ විට, සිත තුළ හටගන්නේ ඊට හාත්පසින් වෙනස් වූ හැඟීමකි. කොලෝසියම්, මෙතෙක් නොනැසී පවතින ලෙස ඉදි වූ දැවැන්ත නිර්මාණයක් බව සැබෑවකි. නමුත් එහි ඇත්තේ මරණයේ සීතලකි. තම භූමිය මත අමානුෂික ක්‍රීඩාවන්ගෙන් වැගිරුණු ලේ ගංගා පිළිබඳ කිසිදු කතාබහක් නොමැතිව, නෙත් සිත් වසඟ කරවන ආලෝක ධාරාවන්ගෙන් හැඩවෙමින්, කොලෝසියම් අද සංචාරකයන්ගේ දෑස් තමා වෙත තරයේ බඳවා ගනිමින් ප්‍රෞඪ ලීලාවෙන් බලා සිටී.   



රෝමයේ මරණයෙහි රඟමඬල ලෙස නම් දරන කොලෝසියම්, ඉතාලියෙහි අගනුවර වන රෝම නගරයෙහි නැගෙනහිර පසට වන්නට ඉදිකොට තිබේ. එය ෆ්ලේවියානු රංගපීඨය ලෙස ද හැඳින්වේ. කොලෝසියම්, ලොව විශාලතම එළිමහන් රංග පීඨය ලෙස ඉතිහාසය තුළ නම් දරයි. විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රේක්ෂකයන් 55,000කට අධික ප්‍රමාණයක් දොරටු 76කින් පිරවීමේ හැකියාව පැවති කොලෝසියම් ප්‍රේක්ෂකාගාරය, දරුණු ලේ වැගිරීම්වල ඇසින් දුටු සාක්ෂියකි.



කොලෝසියම් මහල් තුනකින් සමන්විත විය. ගල් සහ කොන්ක්‍රීට් භාවිතයෙන් ඉදි කරන ලද කොලෝසියම් රඟහල, මීටර් 50ක් පමණ උසින් යුතු වන අතර (මහල් 12කින් යුතු ගොඩනැගිල්ලක උසට සමානය) දිගින් අඩි 615ක් (මීටර් 189) පමණ සහ පළලින් අඩි 510ක් (මීටර් 156ක්) පමණ වන අතර අක්කර 6ක් පුරා පැතිර පවතී. එහි පිටත වටප්‍රමාණය අඩි 1788ක් (මීටර් 545ක්) වෙයි. රඟහලෙහි මධ්‍යය හෙවත් රංග පීඨය (වේදිකාව) ලෙස භාවිත කළ වැලි පිටියෙහි දිග අඩි 287ක් වන අතර පළල අඩි 180කි. එය සෙන්ටිමීටර 15ක වැලි තට්ටුවකින් පුරවා තිබී ඇත. රංග පීඨයෙහි ප්‍රාකාරයක උස අඩි 15කි. රංග පීඨයේ බාහිර බිත්තිවල පාදම මීටර් දහතුනක් පමණ පොළොව යටට පවතින බව සොයාගෙන ඇත.



කොලෝසියම් ප්‍රේක්ෂකාගාරයෙහි එක් ආසනයක පළල සෙන්ටිමීටර් 40ක් පමණ වන අතර ආසන පේළි 60ත් 80ත් අතර ප්‍රමාණයක් තිබුණු බව සැලකේ. කොලෝසියම් රඟහල ඉදිකිරීම සඳහා කිරිගරුඬ ඝන​ මීටර් 100,000 පමණ යොදාගෙන තිබෙන බවට ගණනය කර ඇත.

රංග පීඨයෙහි පොළොවට යටින් උමං මාර්ග පද්ධතියක් සහ සතුන් රඳවා තබාගැනීම සඳහා කුටි 32ක් ද පැවතුණි. සටන් සඳහා යොදාගන්නා ලද වනසතුන්, සටන්කරුවන් මෙන්ම වහලුන්, සිය සටන් වාරය එනතෙක් එම කුටිවල ගාල් කර තබන ලදී. විශාල සතුන්ව පිටියට ඇතුල් කිරීම සඳහා විශේෂ වේදිකාවන් පැවති අතර සාමාන්‍ය ප්‍රමාණයේ සතුන්ට ක්ෂණිකව පීඨයට පිවිසීම සඳහා ද පසුබිම සකසා තිබුණි.



රංග පීඨයකට පිවිසීමට සිදුවීම දඬුවමක් විය හැකි යැයි ඇදහිය හැකිද? සාමාන්‍ය රංග පීඨයක රංගනයෙහි යෙදීම සෞන්දර්යවාදී අත්දැකීමක් වීම අතිශයින් ස්වභාවික කරුණක් වුවද කොලෝසියම් ප්‍රේක්ෂකාගාරය සතුටට පත් කිරීමට ලැබුණු ආරාධනාවන් අතිශය භයංකර ඒවා විය. රෝම යුගය තුළ වහල් මෙහෙයට එරෙහි වූවන්ට, රාජ ද්‍රෝහීන්ට මෙන්ම රෝම නීතිය කඩ කළ ඕනෑම පුද්ගලයෙකුට කොලෝසියම් රංග පීඨය විවෘත විය. හීලෑ නොමැති වන සතුන් සමඟ සටන් කිරීමට ඔවුනට නියම වූ අතර, ඇතැම් විට දුර්වල වහලුන්ට දක්ෂ සටන්කරුවන් සමඟ මෙහිදී සටන් කිරීමට නියම විය. මෙවැනි දඬුවම් ලබාදීම හරහා රෝම පාලකයෝ අතිශය අමානුෂික සතුටක් භුක්ති වින්දෝය. ඊට අමතරව දක්ෂ සටන්කරුවන් (gladiators) අතර සටන් තරඟ පැවැත්වීමට, සත්ව දඩයම් ක්‍රීඩා පැවැත්වීමට, මරණ දඬුවම් ලබාදීමට, සම්භාව්‍ය නාට්‍ය රඟදැක්වීමට මෙන්ම ප්‍රිය සම්භාෂණ සහ විවිධ උත්සව පැවැත්වීමට ද කොලෝසියම් භූමිය යොදාගන්නා ලදී. පොළොව යට කුටි තැනීමට පෙර කොලෝසියම් වෙත වතුර පුරවා බෝට්ටු යුධ සටන් පවා පවත්වා ඇත.



කොලෝසියම් රංග පීඨය තුළ 9000කට අධික සතුන් ප්‍රමාණයක් ඝාතනයට ලක් වී ඇත. කොලෝසියම් තුළ සතුන් සමඟ සටනෙහි යෙදුණ ඇතැම් පුද්ගලයෝ හොදින් පුහුණු කරන ලද දක්ෂ වෘත්තීය සටන්කරුවෝ (gladiators) වූහ. නමුත් සතුන් සමඟ සටන් කිරීම සඳහා යොදන ලද බොහොමයක් පුද්ගලයන් නිරායුධ අපරාධකරුවන් සහ සිරකරුවන් විය. මේ අතුරින් බොහෝමයක් සිරකරුවන්; සතුන් සමඟ සටන් කර මියයාමට සිදුවීම පිළිබඳ භීතියෙන්, තම අත රැඳි කුමන හෝ දෙයකින් හානි කරගනිමින් සියදිවි නසාගැනීමට පෙළඹුණහ. 



විශේෂයෙන්ම උතුරු අප්‍රිකාවේ සහ මධ්‍යධරණී කලාපයේ වනජීවීන්ට කොලෝසියම් හේතුවෙන් මහත් ව්‍යසනයකට මුහුණ දීමට සිදු විය. නයිල් නදී තීරයෙන් හිපපොටේමස් ජීවීන් අතුරුදහන් වීමට ප්‍රධානතම හේතුව වූයේ කොලෝසියම් රඟහලයි. උතුරු අප්‍රිකානු අලින් වඳවී යාමට, සටන් සඳහා ඔවුන්ව අධිකව භාවිත කිරීම හේතු විය. අධිරජ කොමෝඩස් කොලෝසියම් තුළ සතුන් ඝාතනයෙන් අපමණ ප්‍රීතියක් ලැබූ අතර එක් දිනක් ඔහු වාර්තාගත ලෙස වලසුන් සියයකට අධික ප්‍රමාණයක් මරා දැමුවේය. සටන් සඳහා යොදාගත් සතුන් නිසි ලෙස රැකබලා ගැනීමක් රෝමන්වරුන් අතින් සිදු නොවූ අතර ඔවුන් රැකබලා ගැනීම සඳහා දැරීමට වන වියදම් අවම කරගැනීම සඳහා සටන් තරගාවලිවලින් අනතුරුව ඔවුන්ව මරා දමන ලදී. මෘගයන්, රයිනෝසරස්, හිපපොටේමස්, අලි ඇතුන්, ජිරාෆ්, සිංහයන්, දිවියන්, වලසුන්, කිඹුලන් හා පැස්බරුන් වැනි සතුන් කොලෝසියම් තුළ සටන් සඳහා යොදා ගනිමින් ඝාතනය වීමට ඉඩ සලස්වා ඇත. ප්‍රේක්ෂකාගාරය විසින් අකමැත්තක් දක්වා ඇත්තේ අලි ඇතුන් ඝාතනය වනු දැකීමට පමණි.



කලක් මරණයේ ප්‍රීතිය සැමරූ කොලෝසියම් පසු කලෙක සම්පූර්ණයෙන්ම අත්හැර දමන ලද අඩවියක් බවට පත් විය. වරෙක එය ශාන්ත පීතර, ශාන්ත ජෝන් වැනි දේවස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘති, ටයිබර් ගංගාව දිගේ බලකොටු ඉදිකිරීමේ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතීන් සඳහා ගල් පතලක් ලෙස භාවිත වී ඇත. අයහපත් කාලගුණික තත්ත්වයන්, භූමිකම්පාවන්, භාවිතයෙන් අත්හැර දමා තිබීම සහ සොරුන්ගේ ක්‍රියාවන් නිසාවෙන් ද කොලෝසියම්හි 2/3ක් පමණ ක්‍රමයෙන් විනාශයට පත් වූ අතර අද වන විට සංරක්ෂණය වී පවතින්නේ මුල් ආකෘතියට සාපේක්ෂව කුඩා කොටසකි.








Monday, November 2, 2020

ටොරාජාවරුන්🙄

  මළවුන් සමග ජීවත් වීම හෙවත් ටොරාජාවරුන්ගේ කතාව



ලෝකය පුරා පැතිරුණු බොහෝ අපූර්ව නමුත් වෙනස් සම්ප්‍රදායන් සහ පිළිවෙත් පවතී. මෙවැනි බොහෝ පිළිවෙත් පරම්පරාවෙන් පැවතවිත්, වෙනස්කම්වලට භාජනය වෙමින්, වර්තමානය දක්වා පැමිණ තිබේ. ඒ අනුව ගත්කළ ටොරාජාවරුන්ගේ ඉතිහාසය මෙවන් අපූර්ව පිළිවෙතක් සමග බද්ධව පැවත ආවක් බව කරුණු සොයා බැලීමේ දී මනාවට වැටහී යන්නකි.

සමස්ථ ලෝකවාසීන්, කිසියම් හෝ අයුරකින් මරණය හා මළවුන් සමග ඍජුව සම්බන්ධ වූ පිළිවෙත් සහ සම්ප්‍රදායන් අනුගමනය කරයි. මළවුන් හා බැඳුණු ලොව සියළු පිළිවෙත් අතික්‍රමණය කරමින් ටොරාජාවරුන් හා මළවුන් අතර ඇති බැඳීම ඉතා විශේෂ ස්වරූපයක් උසුලයි. ටොරාජාවරුන්, ජීවිතය මරණයෙන් කෙළවර වන බවට විශ්වාස කරන්නේ නැත. ඒ අදහස පෙරදැරිව, ටොරාජාවරයෙකුගේ මරණය සිදුවූ විට ඔවුන් නිශ්චිත කාල වකවානුවක දී එම මළ තැනැත්තාගේ ශරීරය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට පෙර සිදු කරනු ලබන චාරිත්‍රයන් රැසක් පවතියි.


                                               (මළවුන් සමග දිවි ගෙවන ටොරාජා ජනතාව) 


ටොරාජාවරුන්ගේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දුනීසියාවේ සුලවෙසි ප්‍රදේශය යි. වර්තමානය වන විට බොහෝ ටොරාජාවරුන් ක්‍රිස්තියානි සම්භයවය සහිත වන අතර, මුස්ලිම් සහ බෞද්ධ සම්භවය සහිත පිරිස් ද ඔවුන් අතර වේ. ඔවුන් විශ්වාස කරන පරිදි ඔවුන්ගේ මුතුන්මිත්තන් දිව්‍යමය ප්‍රසාදය ලබා පෘථිවිය වෙත පැමිණි පුද්ගලයන් ය. මෙම ජන වර්ගය විශ්වාස කරන පරිදි මරණය යනු හුදෙක් තවත් එක් පාරිශුද්ධ චාරිකාවක ආරම්භය මිස ජීවිතයේ අවසානය නොවේ. එනිසා, ටොරෝජාවරයෙකුගේ මරණය සිදුවූ විට ඔවුන් එම සිරුර පිරිසිදු කොට මමිකරණයට ලක් කිරීමෙන්, බොහෝ කාලයක් පවතින ලෙස සං‍රක්ෂණය කරනු ලබයි. මෙලෙස සං‍රක්ෂණය කරනු ලබන ශරීරය කිසිඳු විටක නොසලකා හැරීමට ලක් නොකරන අතර, සෑම විටම ශරීරය සහිත නිවස සහ කුටිය සඳුන් සුවඳින් සුවඳවත් කොට තැබීමට ඔවුන් වගබලා ගනී.

                                          

                   (මළ තැනැත්තාගේ ශරීරය පිරිසිදු කර වස්ත්‍රාභරණයෙන් සරසා ජීවත් වන පුද්ගලයෙකු සේ සලකා    ගරුසරු කිරීම) 

ටොරාජාවරුන්ට අනුව ඔවුන් මළ තැනැත්තා "මකූලා" නමින් හඳුන්වනු ලබයි. එහි අර්ථය වන්නේ "අසනීප වූ (රෝගී වූ) තැනැත්තා” යන්න යි. යමෙක් මරණය පත් වූ විට මෙම ජනයා ඔහු/ඇය ජීවත් වූ කාලයේ සිටි අකාරයටම අලංකාර ඇඳුම් සහ ආභරණවලින් සරසනු ලබයි. එලෙස සරසන ලද මෘතදේහයට ඔවුන් දිනකට සිව්වරක්; උදෑසන, දිවා, රාත්‍රී, සහ සන්ධ්‍යා තේ පානය සඳහා ආහාර-පාන සැපයීමත්, මළ තැනැත්තා අසලට වී කතාබස් කරමින් කාලය ගත කිරීමත් සිදු කරයි. මරණය හුදෙක් අසනීපවීමක් බැවින් මළ තැනැත්තාගේ ආත්මය කිසි විටෙක කණගාටුවට පත් කිරීමට ඔවුන් මැලි වේ. 

මෙලෙස මරණයට පත්වන තැනැත්තෙකුගේ දේහය බොහෝවිට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් ගතවන තෙක් සත්කාර කරමින් රැකබලා ගනු ලබයි. ඊට හේතුව වන්නේ ටොරාජා සංස්කෘතියට අනුව අවමංගල්‍ය උත්සවය එම තැනැත්තාගේ ජීවිතයේ ලබාදිය හැකි ඉහළම උත්සවය ලෙස සැලකීම යි. ඒ අනුව අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නම් ඔවුන් සතුව ඉතා ඉහළ මට්ටමේ ධනයක් රැස්කොට තබාගෙන තිබිය යුතු අතර, බොහෝ දුර ඈත ප්‍රදේශවලින් පවා සිය ගණනින් නෑයන් එක්රැස් වන තෙක් බලා සිටිය යුතු වේ. එමෙන්ම එදිනට හැකි උපරිම මට්ටමෙන් හරකුන් සහ ඌරන් ඝාතනය කිරීම මඟින් අවමංගල්‍යට ලබා දිය හැකි උපරිම අගය ලබා දීමට ඔවුන් වගබලා ගනී. බිලිදීම සඳහා යොදාගනු ලබන්නේ නිල් පැහැති ඇස් ඇති විශේෂිත මී හරක් විශේෂයකි. සාමාන්‍යයෙන් මෙම එක් මී හරකෙකුගේ වටිනාකම ඩොලර් 10,000 සිට 40,000 දක්වා අගයක් ගනු ලබයි. 


                              (මළ තැනැත්තාට ගෞරව කිරීම පිණිස හරකුන් සහ ඌරන් ඝාතනයට සූදානම් කිරීම) 


අවමංගල්‍යය පැවැත්වීමට පෙර දින දේහය විශේෂීත සොහොන් කුටීරයක්  වෙත රැගෙන යනු ලබයි. මෙම කුටීර සාමාන්‍ය භූමියෙන් ඉහළින් පිහිටා ඇති අතර මේවා මළවුන්ගේ විවේකස්ථාන ලෙස සලකයි. ළදරුවෙකුගේ මරණයක් සිදුවූ අවස්ථාවක දී මෙම පිළිවෙතෙහි විශාල වෙනස්කමක් සිදුවේ. ළදරුවෙකුගේ දත් මෝදු වීමට පෙර මරණය සිදුවුවහොත්, එවැනි අවස්ථාවක දී  ඔවුන් තෝරාගත් ගසක කඳක් හාරා සකස් කර ගන්නා ගුහාවක මළ දරුවාගේ සිරුර එම කඳෙහි තැන්පත් කරනු ලබයි. ඒ හරහා ඔවුන් විශ්වාස කරනු ලබන්නේ මළ දරුවා සහ ගස එක්ව වැඩෙන බවයි. කෙසේ වෙතත් ටොරාජාවරුන් ජීවිතයට තර්ජනයක් විය හැකි රෝගී අවස්ථාවක දී ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප නොකරයි. ඊට හේතුව කෙනෙකුගේ මරණයෙන් පසු වෙන් වීමේ ශෝකය ඔවුන්ට පවා දරා ගැනීමට අපහසු වීම යි. තත්ත්වය මෙසේ තිබිය දී පවා මරණය ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් බව ඔවුන් වටහාගෙන තිබේ. 


                                            (ශාක කඳක තැන්පත් කරන ලද ළදරුවන්ගේ සොහොන්) 


ටොරාජාවරයෙකුගේ අවමංගල්‍යය ඉතා උත්සවාකාරයෙන් සිදු කරනු ලබයි. එය "රම්බු සෝලෝ" යන විශේෂ නාමයෙන් ඔවුන් හඳුන්වන්නේ "අනුස්මරණීය උත්සවය" යන අර්ථය පෙරදැරි කරගෙන යි. සාමාන්‍ය මට්ටමේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා ඔවුන් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 18,000ක අධික මුදලක් වැය කරනු ලබයි. එය සාමාන්‍ය අගයක් ලෙස ගත් කළ ඉන්දුනීසියානුවකුගේ වාර්ෂික ආදායම මෙන් පස් ගුණයක අගයක් වේ. ධනය හිමි පවුලක අවමංගල්‍ය උත්සවයක් නම් ඒ සඳහා ඩොලර් 500,000කට අධික මුදලක් වැය කිරීමට ඔවුන් මැලි නොවේ. මෙසේ ඉතා අධික මුදල් සම්භාරයක් වැය කරන ඔවුන් එම මුදල වැය වීම සම්බන්ධව කිසිදු ආකාරයක පසුතැවීමක් ඇති කර නොගනී. ඔවුන්ගේ මතය වන්නේ, "අපි ඔවුන් ආත්ම රාජධානිය වෙත පිටත් කර හැරිය යුතු වෙනවා. එය ටොරාජානු සංස්කෘතිය යි. එය අපි සිදුකළ යුතුම දෙයක්" බව යි. එමෙන්ම ඔවුන් ඉතා විශාල පිරිසක් එම අවමංගල්‍යය නැරඹීමට පැමිණීම අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වන්නේ නම්, එය මරණයට පත් වූ තැනැත්තා හට ලැබෙන ඉහළ ගෞරවයක් බව ඔවුන් විශ්වාස කරනු ලබයි. සතියක් වැනි කාලයක් පුරාවට පවත්වනු ලබන මෙම අවමංගල්‍ය උත්සවය ආහාර-පාන, හමුවීම්, විනෝදවීම්, වැලපීම්, බිලි පූජා, යාඥා කිරීම්, සහ පූජාවිධි මෙන්ම ඇතැම්විට කුකුල්පොර වැනි දෑවලින් සමන්විත වේ. 

අවසාන වශයෙන් ටොරාජා සංස්කෘතිය තුළින් උකහාගත හැකි විශේෂිතම කාරණාව වන්නේ, ස්වභාවිකත්වය සහ මරණය සමග බැඳී පවතින බැඳියාව එක්ව මනුෂ්‍යත්වය එකට කැටි වී ඇති ආකාරයේ අපූර්වත්වය යි.

ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත😮

  සොකොත්‍රා ගැලපගෝස් දූපත් සමූහය ගැන ඇතැම් විට ඔබ අසා ඇති. මෙම දූපත්වල සුවිශේෂී සහ සංවේදී පරිසර පද්ධතිය නිසා ජීවී පරිණාමය පිළිබඳ න්‍යායක් ගො...