Sunday, October 25, 2020

පේරුවෙහි සැගවුණු පාරාදීසය 😯

      පේරුවෙහි වැලි කඳු අතර සැඟවුණු පාරාදීසය




ගිනියම් සුළං රැළිවලින් ගත පුළුස්සා හරින, ඇතැම්විට ප්‍රචණ්ඩකාරී වැලි කුණාටු ඇති කරවන කාන්තාරයට තිබෙන්නේ සිත ගත දවා හරින පෙනුමක්. දිය බඳුනක් ගෙන උගුරු කිහිපයක් මුවට හලා ගැනීමට තරම් පිපාසිත සිතුවිල්ලක් ඇති කරවන පෙනුමක්. එවන් ගිනියම් කතරක් මැද සුන්දර ජල උද්‍යානයක පැවැත්මත් බෙහෙවින්ම අපූර්වාකාර යි. විස්මය දනවනසුලු යි. පීරු රටේ ලීමා නුවරට දක්ෂිණ දෙසින්, පැය පහක ගමනකින් අනතුරුව ළඟා විය හැකි ඉසව්වක පිහිටා තිබෙන ක්ෂේම භූමියක් වන හුවාකචිනා නගරය, පේරුවේ වැලි කඳු අතර අහම්බෙන් මුණගැසෙන මායාවක්. දකුණු ඇමරිකාවේ පිහිටා තිබෙන එකම කාන්තාර ක්ෂේම භූමියත් මෙය වනවා. මේ කරා ළඟා වන බොහෝ සංචාරකයන්ට දැනෙන්නේ තමන් මේ දකින්නේ මිරිඟුවක්දැ යි හැඟීමක්.


                                                      (ක්ෂේමභූමි නගරය රාත්‍රියට දිස්වන ආකාරය)


මෙම භුමියට පැමිණෙන පුද්ගලයන්ට අවශ්‍ය නම් ගුවන් මාර්ගයෙන් ගොස් නස්කා රේඛාවන් දැකබලා ගැනීමට ද පුළුවන්. එමෙන්ම පෙන්ගුයින්ලා නැරඹීමටත්, මුහුදු සිංහයන් නැරඹීමටත් බෝට්ටු සවාරිවල නිරතවීමටත් හැකියාව පවතිනවා.


                                           (වැලි කඳු මත සිට බලනකල ක්ෂේමභූමි නගරය දිස්වන ආකාරය) 


මෙම අපූරු ක්ෂේම භූමියට ඇතුල් වන්නෙකුට දැනෙන්නේ කිසියම් මායාවකට ඇතුල් වන්නාක් මෙන් වුවත් එය එසේ නොවන බව වැටහීමට ගත වන්නේ ඉතා සුළු කාලයක්. මෙය බාහිර ලෝකයෙහි පවත්නා නගරයක් මෙන්ම අතිශයින්ම සාමාන්‍ය නගරයක්. වෙනසකට පවතින්නේ මෙය වැලි කතරක හුදෙකලා වී පැවතීම පමණ යි. නමුත් මෙම නගරය බාහිර ලෝකය සමඟ අඛණ්ඩව සිය ගනුදෙනු පවත්වා ගන්නවා. වැලි කඳු අතර මධ්‍යයේ පවත්නා මෙම අපූරු නගරය තුළ සංචාරකයන්ට නවාතැන් පහසුකම් සපයන මධ්‍යස්ථාන මෙන්ම මධුවිතෙන් සප්පායම් වීම සඳහා අවශ්‍ය බටහිර පන්නයට සකසන ලද සුරාසැල් ද පවතිනවා. විශේෂයෙන්ම සංචාරකයන් අතිශයින් ප්‍රිය කරන දෙයක් තමයි පේරුවේ හුවාකචිනා නගර‍ය වටා පැතිරී පවත්නා මහා වැලි සාගරයෙහි උණුසුම දරාගත හැකි දුරක් සැරිසරා, ඉනික්බිතිව සවස් කාලයෙහි එහි ඉස්මත්තේ හිඳගෙන, ඈත දිස්වන බටහිර අන්තයෙන් හිරු අවරට යන ආකාරය විවේක සුවයෙන් යුක්තව බලා සිටීම. හිරු අවරට යත්ම වැලි තලාව මත චිත්‍රණය වන රන් පැහැය සැබැවින්ම සංචාරකයන්ගේ මනස සුවපත් කරන ආකාරයේ දසුනක්.


                                            (ක්ෂේමභූමියේ ඉදිකර තිබෙන දැවැන්ත ගොඩනැගිලි) 


1960 කාලවකවානුවේ දී පීරු රාජ්‍යය වෙත පැවතියේ ඉතා අධික සංචාරක ආකර්ශනයක්. ඊට හේතුව වූයේ පාම් ශාකයන්ගෙන් වටවූ වැලි කඳු මධ්‍යයේ පිහිටි ක්ෂේම භූමියේ පිරී තිබෙන දිය දහරින් ස්නානය කළ විට ලෙඩ රෝග සුව වන බවට පැතිර ගිය විශ්වාසය යි. ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතර පැතිර ගිය මෙකී විශ්වාසය හේතුවෙන්ම ධනවත් පීරු වැසියන් සිදු කළේ මෙම ක්‍ෂේම භූමිය කරා පැමිණ ඔවුන්ගේ ස්ථීර වාසස්ථාන සහ සංචාරකයන්ට නවාතැන් සැපයීම පිණිස හෝටල්, ලැගුම්හල් යනාදිය ද මෙම භූමියේ ඉදිකිරීම යි. මෙම ක්ෂේම භූමිය සහ එහි මධ්‍යයේ පිහිටා තිබෙන විල වටා ඉතා සිත් ඇදගන්නාසුළු පුරාවෘත්තයක් ගොඩනැගී තිබෙනවා. 


                                   (ක්ෂේමභුමියෙහි පිහිටි කලපුවෙහි තිබෙන බෝට්ටු සවාරි යා හැකි යාත්‍රා) 


එකී වෘත්තාන්තයට අනුව ඈත අතීතයේ දී "හුවකේ චිනා" නමැති කන්‍යාවක් යුද සෙබලෙකු සමග ප්‍රේමයෙන් වෙලී හිඳ තිබෙනවා. කෙසේ නමුත් මෙම යුද සෙබලා යුද්ධයෙන් මියගිය බව ආරංචි වූ මෙකී කන්‍යාව ඉතා වේදනාවෙන් මහා හඬින් වැලපීමට පටන්ගෙන තිබෙනවා. එම වේදනාව හදවතේ දරාගෙන ඔවුන් දෙදෙනා නිතර හමුවූ ස්ථානය දැකබලා ගැනීමට ගිය ඇයට කැඩපතකින් ඇගේ පෙම්වතාගේ රුව පෙනී තිබෙනවා. ඔහුගේ රුව දැකීමෙන් බියට පත් වන ඇය කලබලයෙන් දිව යෑමට පටන් ගෙන තිබෙනවා. එහිදී ඇය අතින් ඇගේ කැඩපත ගිලිහී වැටී එය මෙම කලපුව බවට පත් වු බවත්, හුවකේ එම කලපුවෙහි කිමිදී ගොස් දිය කිඳුරියක වූ බවත් පුරාවෘත්තය පවසනවා.


                                           (කාන්තාරය පුරා ගමන් කළ හැකි සැහැල්ලු සංචාරක රථ) 


මෙම අපූරු කලපුවෙහි බෝට්ටු සවාරි යෑම සඳහා ක්ෂේමභූමි වාසීන් විසින් සංචාරකයන් උදෙසාම බෝට්ටු සේවයක් පිහිටුවා තිබෙනවා. එපමණක් නොවෙයි, පීරු වැලි කඳු අතර ගමන් කළ හැකි සැහැල්ලු වාහන සේවයෙහි නැගී වැලි සුළං පහර විඳිමින් සංචාරයේ නිරත වීමටත් මෙම භූමියට පැමිණෙන සංචාරකයින් වඩාත් ප්‍රිය කරනවා. පැයකට ඩොලර් පනහක පමණ මුදලක් වැය කිරීමට හැකියාව පවතින ඕනෑම සංචාරකයෙකුට කුඩා සැහැල්ලු රථයක් කුලියට ගෙන ගොස් වැලි කඳු අතර සංචාරය කර අපූරු අත්දැකීමක් විඳගැනීමේ හැකියාව පීරු ව්‍යාපාරිකයන් විසින් සලසා තිබෙනවා. එසේ නොමැති නම් මෙවන් සැහැල්ලු රථයක කණ්ඩායම් වශයෙන් නැගී සංචාරය කිරීමේ හැකියාව ද පවතිනවා. 



                                          (වැලි මත ලිස්සා යෑමේ ක්‍රීඩාවෙහි නිරත වන සංචාරකයෙක්) 


මෙම ක්ෂේම භූමිය වටා පිහිටා තිබෙන වැලි කඳු මත සංචාරකයන් නිරත වීමට ප්‍රිය කරන තවත් ක්‍රීඩාවක් පවතිනවා. ඒ, වැලි මතින් ගමන් කළ හැකි කුඩා බෝඩ් කැබැල්ලක නැගී ශරීරයේ සමතුලිතතාව පවත්වා ගනිමින් පහළට ලිස්සා යෑම යි. කාන්තාරයේ වැලි තලාව සමතලා භුමි‍යක් නොවෙයි. එය ඇතැම් තැනෙක විශාල බෑවුම් සහිත යි. එකී බෑවුම් කෙලවර වන්නේ යළිත් ඉහළට උස්වන වැලි කන්දකින්. මෙකී වැලි කඳු සහ බෑවුම් මතින් මෙම පුවරුව මත නැගී ශරීරයේ බර සමතුලිත කරගනිමින් ගමන් කිරීම පහසු කටයුත්තක් ‍නොවුණත් මෙම ක්‍රීඩාව සඳහා දක්ෂතාවයක් දක්වන, පුහුණු පුද්ගලයන් එකී ක්‍රීඩාවෙහි නිරත වීම මඟින් විශාල සතුටක් භුක්ති විඳිනවා. මෙම වැලි පුවරුව මත දෙපයින් සිටගෙන වැලි කඳු මතින් ලිස්සා යෑමට අසමත්, නුපුහුණු පුද්ගලයන්ට, පුවරුව මත දිගා වී ලිස්සා යා හැකියි.


                                                                   (වැලි කඳු තරණය කිරීම) 


ඒ වගේම පීරු වැලි කඳු නිම්නයේ දී ත්‍රාසජනක ‘රෝලර් කෝස්ටර්’ අත්දැකීමක් ලබා ගැනීමටත් සංචාරකයන්ට හැකියාව පවතිනවා. මඟීන් කිහිප දෙනෙකුට ගමන් කළ හැකි කුඩා ට්‍රක් රථයක් වැනි වාහනයට නගින සංචාරකයන් සියලු දෙනාව බියට පත් කරවාලමින්, එය වැලි කඳු සහ පල්ලම් දිගේ වේගයෙන් ධාවනය කරගෙන යෑමට දක්ෂ රියදුරන් සමත් වනවා. ඉතින් මේ අත්දැකීමත් ත්‍රාසයට ප්‍රිය කරන බොහෝ සංචාරකයන් විසින් නොවරදවාම විඳගන්නක්. හුවාකචිනා  නගරය වටා ක්ෂිතිජය දක්වා ඈතට විශාල වැලි කඳු විහිදී තිබෙනවා. ඒවා දෑසට දක්වන්නේ ඉතාමත්ම මනරම් දර්ශනයක්. කඳු නැගීමට ප්‍රිය කරන සංචාරකයන්ට මෙම වැලි කඳු නැග ඒ මතින් ඇවිද යාමේ හැකියාවත් පවතිනවා. කෙසේ නමුත් එය එතරම් පහසු කාර්යයක් නම් නොවෙයි. 


                                                                  (ඉර බැසයාම නිරීක්ෂණය කිරීම) 


ත්‍රාසජනක අත්දැකීම් ගණනාවක් විඳගැනීමේ රිසින් මෙහි පැමිණෙන විදේශ සංචාරකයන්ගේ ආහාර පාන අවශ්‍යතාවන් ඉෂ්ඨ කිරීමට, ඔවුන්ට සංග්‍රහ සත්කාර දැක්වීමට, මඟ පෙන්වීමට මෙන්ම ඔවුන්ට සවුදිය පිරීමට අවශ්‍ය සියලු ආකාරයේ වයින් සංචිත සැපයීමට ද පේරුහි වැලි කඳු අතර පවතින මෙම පාරාදීසයේ ජීවත්වෙමින් හෝටල් යනාදී ව්‍යාපාර කටයුතුවල නිරත වන හුවාකචිනා වැසියන් කටයුතු කරනවා. 

Sunday, October 18, 2020

වලාකුළු දොරටුව 😯

                          චිකාගෝවේ වලාකුළු දොරටුව 


                                       (චිකාගෝවේ මිලේනියම් උද්‍යානය සරසන වලාකුළු දොරටුව) 


මේ ලෝකයට අලුතින් එකතු වන හැම මිනිසෙක්ම එක්තරා විදියක නිර්මාණකරුවෙක්. නව මිනිසාට තියෙන ලොකුම අභියෝගය තමයි මේ තාක් කිසිවෙකුත් විසින් බිහි නොකරන ලද ආකාරයේ නිර්මාණයක් මේ වනවිටත් බිහිකර තිබෙන නිර්මාණ ගොන්න අතරට එකතු කිරීම. අතීත මිනිසාට වඩා නිර්මාණශීලී වීමට එහිදී නූතන මිනිසාට සිදුවනවා. 


(නිර්මාණ ශීල්පී අනිෂ් කපූර්) 


ලොව පවත්නා කර්මාන්ත අතරින් නිර්මාණශීලීත්වය වඩාත්ම ඇගයෙන කර්මාන්තයක් තමයි සංචාරක කර්මාන්තය කියන්නෙ. විචිත්‍රවත්ව සැකසූ උද්‍යාන, ප්‍රතිමා නැරඹීමටත්, ඒවා සමීපයෙහි හිඳ ඡායාරූප ගැනීමටත් සංචාරකයන් බෙහෙවින්ම ප්‍රිය කරනවා. චිකාගෝ නුවර පිහිටා තිබෙන මිලේනියම් උද්‍යානය කියන්නෙත් ඒ ආකාරයෙන් විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගත් මනරම් පාරාදීසයක්.



                                                   (වළාකුළු ගේට්ටුවෙන් අහස දිස්වන ආකාරය)

 

මිලේනියම් උද්‍යානයේ ඉදිකර තිබෙන ‘Cloud Gate’ හෙවත් ‘The Bean’, චිකාගෝ නුවර මධ්‍යයේ පිහිටා තිබෙන අපූර්වතම නිර්මාණයක්. මෙය මේ වන විට ලොව ඉදිකර තිබෙන එළිමහන් කලාකෘතීන් අතරින් විශාලතම කලා නිර්මාණයක් ලෙස සැලකෙනවා. 2004 වසරේ දී ඉදිකිරීම් අවසන් කර සංචාරකයන් සඳහා නිරාවරණය කිරීමෙන් අනතුරුව මෙකී නිර්මාණය බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා. McCormick Tribune Plaza නමැති වෙළඳ සංකීර්ණයට ඉහළින් පිහිටුවා තිබෙන මෙම ස්මාරකය, ඒ ආසන්නයේ පිහිටා තිබෙන Park Grill Restaurant නමැති අවන්හලට පැමිණෙන අමුත්තන්ගේ ආකර්ෂණය නිතැතින්ම දිනාගන්නවා. චිකාගෝ නුවර විවිධ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයන්ගෙන්, ගංගා, ඇවිද යාමේ මංතීරු, සිනමාහල්, සාප්පු සංකීර්ණ මෙන්ම ප්‍රණීත ආහාරපාන සහිත අවන්හල්වලින් යුත්, සංචාරකයන්ටම වෙන් කළාක් මෙන් පෙනෙන අසිරිමත් පුරවරයක්. වලාකුළු දොරටුව මෙම පුරවරයේ අසිරිය තවත් ගුණාකාර කිහිපයකින් වැඩි කර දක්වනවා.



                                                     (බාහිර අලංකරණවලින් හැඩ ගැන්වුණු වලාගුළු ගේට්ටුව) 


‘Cloud Gate’හි මතුපිට,  රසදිය පැහැයෙන් දිස්නය දෙනවා. ඒ දෙස බලා සිටින්නෙක්ට උද්‍යානය පුරා ඇවිද යන මිනිසුන් සියලු දෙනාව ‘Cloud Gate’හි මතුපිට ආවරණය මතින් දැකගැනීමට පුළුවන්. හරියටම කිව්වොත් වලාකුළු දොරටුව කියන්නේ එක්තරා ආකාරයක කැඩපතක්. උද්‍යානය පුරා ඇති ගස්වැල්, ගොඩනැගිලි, නිල් අහස සහ වලාකුළු යන මේ සියල්ලක්ම වලාකුළු දොරටුවෙන් බොහොම අපූර්වත්වයෙන් යුක්ත හැඩයක් මවමින් දිස් වනවා. වලාකුළු දොරටුව අසලට පැමිණ එයින් පිළිබිඹු වන තමන්ගේ සේයාරූ කාචගත කරගැනීමට සංචාරකයන් වැඩි කැමැත්තක් දක්වනවා. වලාකුළු දොරටුව මත වඩාත් අලංකාරව චිත්‍රණය වන්නේ අහසෙහි දර්ශනය යි. එය සමස්ත දර්ශනයෙන් 80%ක පමණ ප්‍රමාණයක් වනවා. එසේම ‘Cloud Gate’හි මැද පවතින අඩි දොළහක් උසැති කවාකාර ආරුක්කුව හේතුවෙන් එකී නිරූපණය අහස වෙත යොමු වූ කවාකාර ගේට්ටුවක ස්වරූපයෙන් දිස්වෙනවා. මෙයට ‘Cloud Gate’ යන නම පටබැඳී තිබෙන්නේත් ඒ හේතුවෙන්ම යි. කෙසේ නමුත් චිකාගෝ වැසියන් මෙම නිර්මාණය හඳුන්වන සුරතල් නාමය ‘The Bean’ යන්න යි. ඊට හේතුව මෙය ඈතට දිස් වන්නේ බෝංචි බීජයක් ආකාරයට වීම යි.



                                                            (සීත සෘතුවේදී වලාකුළු ගේට්ටුව දිස්වන ආකාරය) 


මෙම නිර්මාණයේ පීතෘත්වය හිමි වන්නේ අනිෂ් කපූර් නමැති, ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික අතිදක්ෂ ප්‍රතිමා නිර්මාණ ශිල්පියාට. අනිෂ් කපූර් එළිමහන්හි සිදු කරන විශාල පරිමාණයේ ප්‍රතිමා, ස්මාරක නිර්මාණයන්ට කීර්තිය උසුලන්නෙක්. ඔහු නිමකළ බොහෝ නිර්මාණයන්හි මතුපිට පැවති පරාවර්තන ගුණය දේශ දේශාන්තරයන්හි ප්‍රචලිත වූවා. ඔහුට මෙම නිර්මාණය ඉදිකිරීම සඳහා ආරාධනා ලැබෙන්නේත් ඔහු සතුව පැවති එකී අපූර්ව නිර්මාණ ගුණය හේතුවෙන්ම යි. 



                                                         (වලාකුළු ගේට්ටුවෙන් දිස්වන අහස) 


අනිෂ් කපූර්ගේ නිර්මාණ යෝජනාව තේරී පත්වන්නේ නිර්මාණ යෝජනාවන් දෙකක් අතරින්; ඒ වර්ෂ 1999 දී. ‘Cloud Gate’ යනු අනිෂ් කපූර් එක්සත් ජනපදයේ සිදුකළ සිය පළමුවන නිර්මාණය සේම, ඔහුගේ නම වඩාත් ප්‍රචලිත කරවූ නිර්මාණය යි. මෙය ඉදිකෙරෙමින් පවතින විටත් එය දකින කිසිවෙකුට මේ ඉදිවන්නේ කුමක්දැ යි යන්න පිළිබඳ හරිහැටි අවබෝධයක් තිබුණේ නැහැ. ඊට විශේෂතම හේතුව වූයේ කිසිවෙකුත් එවැනි වෙනස් නිර්මාණයක් මින් පෙර දැක නොතිබීම යි. එබැවින් මෙකී නිර්මාණය සිදුවන අවස්ථාවේ දී එය දකින්නන්ට ඒ පිළිබඳව පැවතියේ සාධාරණ කුතුහලයක්.



                                                                (වලාකුළු ගේට්ටුව ඉදි කළ ආකාරය) 


වර්ෂ 2006 මැයි මස වන තෙක් අනිෂ් කපූර් අතින් මෙම නිර්මාණය සම්පූර්ණයෙන්ම නිම වන්නේ නැහැ. වර්ෂ 2004 දී මහජන ප්‍රදර්ශනයට මෙය විවෘත කරන ලද නමුත් එය සතු මායාකාරී පෙනුම ඊට මුළුමනින්ම ලැබෙන්නේ වර්ෂ 2006 මැයි මාසය වන විට දී යි. ‘Cloud Gate’හි බාහිර ආවරණය සකසා තිබෙන්නේ දර්පණයකින්යැ යි බැලූ බැල්මට දිස්වුවත් එය සැබවින්ම සකසා තිබෙන්නේ සුදු යකඩවලින්. පරිගණක තාක්ෂණය භාවිතයෙන් ටොන් සියයක බරින් යුත් විශාල සුදු යකඩ තහඩු 168ක් නිවැරදිව කපා, ඉන් අනතුරුව එසේ කපන ලද සුදු යකඩ තහඩු එකට තබා පෑස්සීමට ලක් කර ‘Cloud Gate’හි බාහිර ආවරණය මූට්ටු නොපෙනෙන සේ මූට්ටු රහිත නිමාවක් කරා ගෙන ඒමට තරම් අනිෂ් කපූර් දක්ෂ වී තිබෙනවා. මෙම නිර්මාණය දකින්නෙකුට කිසිවිටෙකත් සිතා ගැනීමට නොහැකියි මෙහි සුදු යකඩ තහඩු 168ක් අන්තර්ගත බව. එය කිසිදු පෑස්සුම් සලකුණක් සොයාගැනීමට නොහැකි වන තරමට අතිවිශිෂ්ඨ අන්දමින් පෑස්සුම් කර තිබෙනවා.



                                                                    (ඉදිකිරීම් කටයුතු අතරතුර) 


'Cloud Gate' හි අභ්‍යන්තරය සකසා තිබෙන්නේ විශාල යකඩ මුදු දෙකක් එකිනෙකට බද්ධ කිරීමෙන්. මෙම මුදු හැඩයේ යකඩ සැකිලි දෙක මඟින් අදාළ නිර්මාණයෙහි බර පොළොම මත සමතුලිත කරවනවා. එසේම ‘Cloud Gate’හි විශේෂිත හැඩයට, අභ්‍යන්තරයේ යොදා ඇති මෙම යකඩ මුදු ද්විත්වය හේතුවක් වනවා. ‘Cloud Gate’හි බාහිර සුදු යකඩ ආවරණය අභ්‍යන්තරය සැකිල්ල සමග සම්බන්ධ කර තිබෙන්නේ නම්‍යශීලී සම්බන්ධකවලින්. ඒ, චිකාගෝ නුවරට උදාවන විවිධ කාලගුණික තත්ත්වයන්හි දී සුදු යකඩ ආවරණයට ප්‍රසාරණය වීමට හැකි වන ආකාරයටත්, අදාළ කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමට හැකි වන ආකාරයටත්. ‘Cloud Gate’ නිර්මාණය කිරීම සඳහා මිලේනියම් පාර්ක් පදනම පෞද්ගලික ධන පරිත්‍යාගයන් යොදාගෙන තිබෙනවා.



                                                                      (ඉදිකිරීම් කටයුතු අතරතුර) 


චිකාගෝ නගරයට මෙය හුදු නගර අලංකරණ ප්‍රතිමා නිර්මාණයක් වුවත්, සංචාරකයන්ට නම් එය සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා සකසන ලද පසුතලයක්. චිකාගෝ නගරයට පැමිණෙන කිසිවෙක් වලාකුළු දොරටුව නැරඹීම නම් කිසි ලෙසකින්වත් මඟහැර ගන්නේ නැහැ. මෙය ස්පර්ශ කර බලා එහි පිළිබිඹු වන තමන්ගේ සේයාව ඡායාරූපගත කර ගැනීමට සංචාරකයන් දක්වන්නේ විශේෂ උනන්දුවක්. ඒ හේතුවෙන්ම දිනකට දෙවරක් වලාකුළු ගේට්ටුව පිරිසිදු කිරීම සඳහා Millennium Parkහි සේවක මඬුල්ල කටයුතු කරනවා. ඒ උදෑසන එක්වරකුත්, රාත්‍රී කාලයේ දී තවත් වරකුත් ලෙසින්. එහිදී වලාකුළු ගේට්ටුවේ මතුපිටට කිසිදු සීරීමක් හෝ හානියක් නොවන පරිද්දෙන් ඉතා ප්‍රවේසම් සහගතව සම්පූර්ණයෙන්ම පිස දැමීම සහ ඔප දැමීම සිදු කරනවා.



                                                                     (ගුවනට දිස්වන ආකාරය) 


ඊට අමතරව මිනිසුන් විසින් නිතර ස්පර්ශ කෙරෙන වලාකුළු ගේට්ටුවේ පහළ අඩි හයක කොටස, ඔවුන්ගේ ඇඟිලි සලකුණු මැකී යන පරිදි පිස දමා ඔප ගැන්වීම උක්ත දක්වන ලද අවස්ථා දෙකට අමතරව දිනකට හත් වරක් සිදු කිරීමට උද්‍යාන පාලක කණ්ඩායම විසින් පියවර ගැනෙනවා. 


Monday, October 12, 2020

බටමරිබානුවන්... 🤔

                          බටමරිබා ගෝත්‍රිකයන් 

                                                                                                                                                ලෝකයට ඇත්තේ පුදුමය උපදවනසුළු විවිධත්වයක්. මහද්වීපික වශයෙන්, ශිෂ්ඨාචාරමය වශයෙන්, සංස්කෘතිමය වශයෙන් මිනිසුන් අතර පවත්නා විවිධත්වය සැබවින්ම අපූර්වයජනක යි. ‍ලෝක ඉතිහාසය දෙස හැරී බැලීමේ දී පෙනෙන කාරණයක් වන්නේ මිනිසුන් ඈත අතීතයේ දී ගෝත්‍ර වශයෙන් ජීවත් වූ බවක්. විශේෂයෙන්ම අප්‍රිකානු මහද්වීපික ජන සමාජය තුළ අදටත් ඔවුනොවුන්ගේ උපචාරයන් සුරකිමින් ජීවත් වන ගෝත්‍රයන් ගණනාවක් සිටිනවා. මේ ගෝත්‍රික ප්‍රජාවන්ගේ ජීවන ශෛලිය බොහෝ විට ගොඩනැගී තිබෙන්නේ පරිසරය හා බද්ධව. ඔවුන්ගේ පරිසරයේ පිහිටීම අනුව ඔවුන් විසින් ගොඩනගාගත් ආවේණික ජීවන රටාවක් ඔවුන් සතුව පවතිනවා. බටමරිබානුවන් කියන්නේත් තවමත් සැලකිය යුතු ජන සංයුතියකින් සමන්විතව ක්‍රියාකාරී මට්ටමෙන් පවත්වාගෙන යන එවන් ගෝත්‍රයක්.


බටහිර අප්‍රිකාව තුළ ජීවත්වන බටමරිබානුවන් ගණනින් 176,000ක් පමණ වනවා. ඔවුන් අතරින් 146,000ක පමණ පිරිසක් ජීවත් වන්නේ බෙනින්හි යි. ඉතිරි කොටස ටෝගෝහි ජීවත් වනවා. බෙනින්හි ජීවත් වන බටමරිබානුවන් හැඳින්වෙන්නේ ‘සොම්බා’ නමින්. ටොන්ගෝලියානු බටමරිබානුවන් හැඳින්වෙන්නේ ‘ටැම්බර්මා’ නමින්. මේ දෙකොට්ඨාසය එකම කුලයේ වූවත්, ඔවුන් දෙපිරිස අතර එක් වෙනස්කමක් පවතිනවා. සොම්බා බටමරිබානුවන්ගේ මුහුණු මත ඉතා සරල සහ දර්ශනීය වූ කැටයම් කොටා තිබුණා. එවැනිම ජ්‍යාමිතික හැඩතල ඔවුන්ගේ නිවාස මත යොදන බදාම තට්ටුව මත ද ඔවුන් රූපණය කරනවා.


බටමරිබා යන නමෙහි අර්ථය වන්නේ “ගොඩනැගිලි සෑදීමට දත්” යන්න යි. ඔවුන් විසින් ඉදිකෙරුණු ගොඩනැගිලි මධ්‍යකාලීය යුරෝපයේ රජ මාලිගාවලට සමානකමක් දක්වනවා. ඒවා උස් කුලුණු සහ ඝන පවුරුවලින් සමන්විත ඉතා අලංකාර නිවාස. බටමරිබානුවන් බටහිර අප්‍රිකාව දෙසට සංක්‍රමණය වූයේ වර්තමානයේ බුර්කිනා ෆාසෝ ලෙසින් හැඳින්වෙන උත්තර ප්‍රදේශයේ සිට යි. මෙකී සංක්‍රමණ ඔස්සේ සොයාගත් නව බිම් ප්‍රදේශවල දී බටමරිබානුවන්ට සංක්‍රමණික බරීබා සටන්කාමීන්ගෙන් ප්‍රවේසම් වීමට සිදුවුණා. කිසිවෙකුට පහසුවෙන් ළඟා වීමට නොහැකි තරම් දුෂ්කර භූමියක් වූ අටකෝරා කඳුවැටියේ සිය බලකොටු ආකාර මැටි නිවාස තැනීමට ආරක්ෂණ ක්‍රමෝපායක් වශයෙන් බටමරිබානුවන්ට සිදුවුණා.


අසල්වැසි ජනගහනයන්ගෙන් වන බලපෑම්වලින් මිදී නිදහසේ ජීවත් වීමට බටමරිබානුවන්ගේ මැටි බලකොටු ඔවුනට මහත් පිටිවහලක් වුණා. ගෝත්‍ර ආක්‍රමණය කර ඒවායෙහි වැසියන් යටත් කරගෙන ඔවුන්ව වහලුන් ලෙස යුරෝපයට විකිණීමේ යෙදී සිටි දහෝමේ වහල් වෙළඳුන්ගේ ආක්‍රමණවලින් බේරී සිටීමට බටමරිබානුවන්ගේ මැටි බලකොටු ඔවුනට විශාල පන්නරයක් වුණා. අවසානයේ දී ජර්මානු යටත්විජිතවාදීන් ද බටමරිබාව ආරක්ෂා කළා. සිය විශේෂ ඉදිකිරීම් ශිල්පීය හැකියාවන් හේතුවෙන්ම බටමරිබානුවන්ට සිට සම්ප්‍රදායන් බාහිර බලපෑම්වලට ගොදුරු වීමට නොදී ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබුණා.

ටකියෙන්ටා නමින් හඳුන්වන මොවුන්ගේ මඩ කුලුණු ටෝගෝ ඉසව්ව පුරා ඉතා විචිත්‍රවත් දර්ශනයක් මවාලනවා.බොහෝ කුලුණු නිවාස තට්ටු දෙකක උසින් යුක්ත වනවා. බැලූ බැල්මට වී බිස්සක/ ධාන්‍යාගාරයක පෙනුමෙන් යුත් මෙම කුලුණු නිවාස උඩින් බැලූ කල සිලින්ඩාකාර ස්වරූපයකට දිස් වනවා. ඇතැම් නිවාසවල වහලය සමතලා ස්වභාවයක් දරන අතර ඇතැම් නිවාසවල වහල කේතු ආකාර යි. සෑම ගමකම මෙම නිවාස ඉදිකර තිබෙන්නේ කණ්ඩායම් හෙවත් පොකුරු නිවාස ආකාරයෙන්. එකී ගම්වල ආගමික වතාවත් සිදු කිරීම සඳහා වෙන් වූ ස්ථාන, ජලය ලබා ගැනීම සඳහා වෙන් කළ ස්ථාන, නව යෞවනයන්ට යොවුන්වරය ලබා දී සිය වැඩිහිටි කණ්ඩායමට ඇතුල් කරගන්නා උත්සව පවත්වන ස්ථාන වෙන් වෙන් වශයෙන් ඉදිකර තිබෙනවා.


බටමරිබානු ගෝත්‍රය විසින් නඩත්තු කරන නිවාස, ගොවිබිම්, ගොවිපළ පමණක් නොව වනාන්තර ද පවතිනවා. ඔවුන්ට කැලෑ සතුන් මෙන්ම නිවාසවල නඩත්තු කරන ගෘහාශ්‍රිත සතුන් ද සිටිනවා. බටමරිබානුවන් සිය ඉදිකිරීම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය සහිත වැඩබිම් ද ඔවුන් සතුව පවතිනවා. හස්ත කර්මාන්තය සඳහා විශේෂිත වූ තාක්ෂණික ක්‍රමවේදයන් සහ දැනුම ද, විවිධ වූ විශ්වාසයන් ද, ඔවුනටම ආවේණික වූ ගීත, නර්තන, සාම්ප්‍රදායික ක්‍රීඩාවලින් ද පොහොසත් ගෝත්‍රයක් ලෙස බටමරිබානුවන් හඳුන්වා දීමට පුළුවන්. 

බටමරිබානුවන්ගේ සියලු නිවාසවල බිම්මහල ධාන්‍යාගාරයක් සහ සතුන් රඳවා තැබීමටට වෙන් වූ බිමක් ලෙස භාවිත කරනවා. ප්‍රදේශය පුරා නිරීක්ෂණයේ යෙදුණහොත් දැකගත හැකි විශේෂ කාරණයක් වන්නේ බටමරිබානුවන් ගොඩනැගිලි ඉදිකර, ඒවා භාවිත කර, ඉන්පසුව ඒවා අතහැර, කඩාබිඳ දමා නැවතත් එම ස්ථානයන්හි නව ගොඩනැගිලි ඉදිකර තිබෙන ආකාරය යි. මුල් ගොඩනැගිලි සහ කාලයාගේ ඇවෑමෙන් සිදු කර තිබෙන නව ඉදිකිරීම් සඳහා ඔවුන් යොදාගෙන තිබෙන අමුද්‍රව්‍යවල වෙනස්කම් ද මෙසේ නිරීක්ෂණය කිරීම මඟින් හඳුනාගත හැකියි.  අද වන විට ඔවුන් මුහුණ දී තිබෙන විශාල ගැටලුවක් වන්නේ නව නිවාස ඉදි කිරීම සඳහා ප්‍රමාණවත් තරම් දැව ගම්මාන අවටින් සොයාගැනීම දුෂ්කර වීම යි.


බටමරිබානුවන්ගේ චාරිත්‍රයන්ට සුලු හෝ බලපෑමක් කිරීමට හැකියාව ලැබුණේ ප්‍රංශ ජාතිකයන්ට පමණයි. ප්‍රංශ ජාතිකයන්ගේ ආගමනයට පෙර බටමරිබානුවන් ඇඳුම් ඇන්දේ නැහැ. කෙසේ වෙතත් සිය පුරුෂ ඉන්ද්‍රිය ආරක්ෂා කරගැනීම සඳහා බටමරිබානු පුරුෂයන් පමණක්, වට්ටක්කා පොත්තෙන් සකසාගත් ආවරණ කොපුවක් පැළඳ සිටියා. ප්‍රංශ ජාතිකයන් පැමිණීමත් සමග ඔවුන් බටමරිබානුවන්ට යුරෝපීය ඇඳුම් හඳුන්වා දුන්නා. 

මොවුන් ජීවත් වුණේ ‍ගොවිතැන් සහ සත්ත්ව පාලනයෙන්. පුද්ගලයෙකුට හිමි සතුන් ප්‍රමාණය මත ඔහුගේ ධනවත්කම තීරණය වුණා. බටමරිබාවේ ධනවතුන් වූයේ විශාලතම සත්ත්ව පට්ටි හිමි පුද්ගලයින්. ඔවුන් සතු වු මෙම පශු සම්පත වැදගත් වූයේ ආර්ථික තත්ත්වය මැනීම සඳහා පමණක්ම නොවෙයි. යමෙකුගේ මරණයක දී, තෑගි දීමක දී, පරිත්‍යාගයන් කිරීමේ දීත් බටමරිබානුවන් සතු සත්ත්ව පට්ටියට අතිශය විශාල වැදගත්කමක් හිමිවුණා. 


බටමරිබානුවන් වැඩි වශයෙන් වගා කළේ මිලට්, ඉරිඟු, බඩඉරිඟු යන ධාන්‍ය වර්ග. මොවුන් ගොවිතැනට පමණක් නොවෙයි දඩයමටත් විශේෂ දක්ෂතාවක් පෙන්නුම් කරන ජන කොට්ඨාසයක්. වවුල් මස් ඔවුන්ගේ ආහාර වේලේ ඉතා ප්‍රණීත ආහාරයක් ලෙස සැලකෙනවා. ‘කුයියේ’ ලෙසින් හැඳින්වෙන සූර්ය දෙවියෙකු පිළිබඳව ඔවුන් විශ්වාස කරනවා. එසේම භූමිය හා පස සම්බන්ධිත ‘භූතාන්’ නමැති දෙවඟනකුත් බටමරිබානුවන්ගේ වන්දනාමානයට පාත්‍රවනවා. තම නිවාස, ගම, ආගමිකව ඔවුනට පූජනීය වන වස්තූන් මෙන්ම ආගමික යන්තර ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා යාතිකා පැවැත්වීම සඳහා ඔවුන් මෙකී දෙවිවරුන්ට සිද්ධස්ථාන ඉදිකර තිබෙනවා

බටමරිබානුවන් සතුව පුරුෂ ලිංගේන්ද්‍රයන් විශාලනය කිරීමේ සාම්ප්‍රදායික තාක්ෂණික දැනුමක් පවතිනවා. ලොව ප්ලාස්ටික් සැත්කම් යොදාගැනීමට ප්‍රථමයෙන් මෙවන් දැනුමක් භාවිත කළ දියුණු ගෝත්‍රයක ලෙස බටමරිබානුවන් සැලකෙනවා. 


බටමරිබානුවන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ විචිත්‍රවත් අවමංගල්‍ය චාරිත්‍ර යි. යම් පුද්ගලයෙකු මිය ගිය විට ඔහුට ගෞරවයක් වශයෙන් ‘ටිබෙන්ටි’ යනුවෙන් හඳුන්වන බෙර වයමින් නර්තනයෙහි යෙදීම බටමරිබානු චාරිත්‍රයක්. ඔවුන් සතු සතුන් අතරින් 52%ක් යොදා ගැනෙන්නේ මෙවන් ආගමික චාරිත්‍රවලට රැගෙන යාමට. සතුන්ගෙන් 28%ක ප්‍රමාණයක් දෑවැදි ලෙස ලබා දීම සිදුවන අතර විකිණීම සිදු කරන්නේ සතුන් අතරින් 20%ක ප්‍රතිශතයක් පමණ යි. යමෙකු මිය ගිය විට අවමංගල්‍යය බිමට පිවිසෙන දොරටු අබියස කවඩි යොදා සරසන අතර ඉහළ මහල්වලින් පහළට වැටෙන සේ ධනවත් පෙනුමින් යුත් රැළි තිර එල්ලා සරසනවා. යමෙකු මිය ගිය විට ඔහුගේ හිස්තැන පිරිවීමට නව යෞවනයෙක්ට යොවුන් වරය ලබාදීමේ උත්සවයක් ඒ හා සමගාමීව බටමරිබානුවන් විසින් පවත්වනවා. එවන් යෞවනයන් ද අවමංගල්‍ය භූමිය තුළ සිය ඉන සහ ගෙල කවඩිවලින් සරසාගෙන රැඳී සිටිනවා.

බටමරිබානු සමාජය තුළ වයස මත පදනම් වූ පුද්ගල කාණ්ඩ සමාගම් ගොඩනැගී තිබෙනවා. මෙහිදී වඩාත් ගෞරවයට පාත්‍ර වන්නේ වියපත්, වැඩිහිටි බටමරිබානුවන්. ඔවුන්ගේ වචනයට සවන් දීමට තරුණ බටමරිබානුවන් මහත් ගෞරවයෙන් යුක්තව සැදී පැහැදී සිටිනවා. මධ්‍යගත පාලනයක් පිළිබඳ බටමරිබානුවන් තුළ පවතින්නේ අල්ප විශ්වාසයක්. තනතුරු, නිලතල කිසිවක් උරුමයෙන් හිමිවන ඒවා බව බටමරිබානුවන් සලකන්නේ නැහැ.


බටමරිබානුවන්ගේ ජාතික සංස්කෘතික උරුමය ආරක්ෂා කරගැනීම සඳහා වර්ෂ 1990 නොවැම්බර් වන දින 90-24 දරණ නීතියත්, ඔවුන්ගේ ඉදිකිරීම් සහ ස්මාරක ආරක්ෂා කරගැනීම සඳහා ඒවා ජාතික සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කරමින් අංක 010/MCJS දරණ 2003 ජූලි 17 වන දිනැති නියෝගයත්, ඔවුන්ගේ ඉදිකිරීම් පවතින කුටමකු ප්‍රදේශයේ සීමා නිර්ණය කරමින් සහ එහි අංගෝපාංග හඳුනාගනිමින් වර්ෂ 2003 ඔක්තෝම්බර් 1 වන දිනැති අංක 124/MC/CAB දරණ නියෝගයත් නිකුත් කර තිබෙනවා. කුටමකු බිම් ප්‍රදේශ සම්බන්ධ අධීක්ෂණයට, එකී භූමිය සංරක්ෂණය කිරීමට සහ එහි ජීවන තත්ත්වය නගා සිටුවීමට කළමනාකරණ කමිටුවක් ද මේ වන විට බලධාරීන් විසින් පිහිටුවා තිබෙනවා.



Saturday, October 3, 2020

පොත් ගංගාව 😍

                                                                                                                    පොත් ගංගාව 


මේ ඡායාරූපවලින් ඔබ දකින්නේ කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදිය (Hagerman Street) සම්පූර්ණයෙන්ම ගමනා ගමනයට වසාදමා එම වීදිය සම්පූර්ණයෙන්ම පොත් අතුරා දීප්තිමත් පොත් ගංගාවක් ආකාරයට පුරවා ඇති ආකාරයයි

         


මෙය ක්‍රියාව වාර්ෂිකව උත්සවයක් ලෙස සමරනු ලබන අතර ගමනා ගමනයේ අධික වාහන තදබදය, ශබ්ද හා පරිසර දූෂණය යන පොදු ප්‍රශ්ණයන්ට එරෙහිව සාහිත්‍ය තුළින් යම් විසඳුමක් සොයාගැනීමේ අරමුණෙන් නාගරික ප්‍රශ්ණ සඳහා මැදිහත්වීම් සිදුකරන නිර්නාමික කණ්ඩායමක් වන 'ලුසින්ටෙරුප්ටස්' (Luzinterruptus)විසින් කරගෙන යනු ලබන වැදගත් ව්‍යාපෘතියකි.

              


ඔවුන්ගේ මේ නවතම ව්‍යාපෘතිය සඳහා කලාත්මකව සකසන ලද දිලිසෙන පොත් 10,000 කින් යුත් ගංගාවක් මෙම වීදිය පුරා ඇතිරීම කරන ලදී. මෙම පොත් ඇතිරීමේ කලාව එරට පැවති 'නුයිට් බ්ලැන්ච් 2016' (Nuit Blanche 2016) සැනකෙළියේ එක් අංගයක් ලෙස ආරම්භ වූ අතර එය නිදි නැති රාත්‍රියක් පුරාවට පැවැත්වෙන කලා උළෙලකි.  



එරට ගැලවීමේ හමුදාව විසින් මෙම පොත් බොහොමයක් පරිත්‍යාග කරන ලද අතර තවත් බොහෝ පොත් කියවා අවසන් කල අය විසින් මෙහි ගෙනවිත් තබන ලද ඒවායි. කාර්ය බහුල හේගර්මන් වීදියේ මෙම දීප්තිමත් පොත් ගංගාවක් පුරවා සකස්කර ගැනීම සඳහා එහි වෙසෙන ස්වේච්ඡා සේවකයන් 50 කට වැඩි පිරිසක් දින 12 ක්  දිවා රෑ පුරා වැඩ කරන ලදී.



මේ අනුව සාමාන්‍යයෙන් වාහනවල වේගය, පරිසර දූෂණය සහ ශබ්දය සඳහා නම් දරා ඇති නගරයේ මේ වීදිය නිශ්ශබ්දතාව රජයන, සන්සුන්කමක් සහිත සහ සහජීවනයෙන් පිරුණු ස්ථානයක් බවට එම රාත්‍රියේදී පත්වී තිබුණි. 



මෙහි සංවිධායකවරුන් විසින් ඔවුන්ගේ වෙබ් අඩවියේ  " පොත් රැගෙන යාමට කැමති අය සඳහා එහි ඇති තරම් පොත් මෙම වීදියේ අතුරා ඇති බැවින්, පැමිණ ඒවා රැගෙන යන ලෙසත් ඔබ සතුව ඇති ඔබ කියවා අවසන් කළ පොත් තවමත් ඔබ සතුව ඇත්නම් ඒවා තව අයෙකුගේ ප්‍රයෝජනය සඳහා වීදීයේ අතුරා යන ලෙසටත්, එතන සිටම පොත් කියවීමට අවශ්‍යය අය සඳහා ඇතිතරම් කාළයක් වෙන්කර තිබෙන බවටත්" සඳහන්කර නිවේදනයක් දමා තිබුණි. 



නමුත් ප්‍රදර්ශණය ආරම්භ වී එම පොත් එම වීදියේ මෙසේ අතුරා පැවතියේ පැය දහයක් පමණ සුළු කාළයක් පමණි. සියළුම පොත් එක් එක් අය විසින් ඒ කාළය අතරතුර අරගෙන ගොස් තිබුණි. පැය දහයක වැනි කෙටි කාළයකින් ප්‍රදර්ශණය මෙසේ නිමා උවත් එය ඊටත් වඩා බොහෝ කාලයක් ජනයා අතර මතකයේ රැඳෙනු ඇති බවට එම ප්‍රදර්ශණයේ සංවිධායකවරු විසින් විශ්වාසයෙන් සඳහන් කර තිබුණි. 




ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත😮

  සොකොත්‍රා ගැලපගෝස් දූපත් සමූහය ගැන ඇතැම් විට ඔබ අසා ඇති. මෙම දූපත්වල සුවිශේෂී සහ සංවේදී පරිසර පද්ධතිය නිසා ජීවී පරිණාමය පිළිබඳ න්‍යායක් ගො...