Thursday, June 24, 2021

ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත😮

 සොකොත්‍රා


ගැලපගෝස් දූපත් සමූහය ගැන ඇතැම් විට ඔබ අසා ඇති. මෙම දූපත්වල සුවිශේෂී සහ සංවේදී පරිසර පද්ධතිය නිසා ජීවී පරිණාමය පිළිබඳ න්‍යායක් ගොඩනැඟීමට චාල්ස් ඩාර්වින් නම් විද්‍යාඥයාට හැකි වුණා. ගැලපගෝස් දූපත් සමූහය ලෝකය පුරා පතල වෙන්න පටන් ගත්තේ පරිණාමවාදය සහ චාල්ස් ඩාර්වින් නිසා යි. මෙම දූපත් සමූහයේ සිටින ජීවීන් බොහෝමයක් එම දූපත්වලටම ආවේණික යි. ඉතිහාසයේ වැඩි කාලයක් මෙම ප්‍රදේශය පැසිෆික් සයුර මැද අතිශයින් හුදෙකලාව පැවතීම, සහ අනෙකුත් දේශගුණික සාධක මෙම ආවේණිකත්වයට හේතු වී තිබෙනවා. ඒ අනුව ගැලපගෝස් දූපත් පරිණාමය උදෙසා ස්වභාවික විද්‍යාගාරයක් මෙන් ක්‍රියාකර තිබෙන බව සඳහන්. 

වසර දහස් ගණනක් හුදෙකලාව පවතින දූපත්වල ජීවී ප්‍රජාවන් අනෙකුත් පරිසර පද්ධතීන් සමග නොගැටෙන නිසා, ඒ ඒ දූපත්වල පාරිසරික සාධක අනුව පරිණාමය වෙනවා. අවසානයේ දී ලෝකයේ කිසිම තැනක දක්නට නොලැබෙන ආවේණික පරිසර පද්ධතියක් සාදන්න ඔවුන් සමත් වෙනවා. ගැලපගෝස් මෙවැන්නක්.

ලෝකය පුරා ගැලපගෝස් අන්දමේ දූපත් විසිරී පවතිනවා. සොකොත්‍රා කියන්නේත් එවැනි දූපතක්. "ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත" ලෙස හඳුන්වන්න තරම් සොකොත්‍රා බිම්කඩ සුවිශේෂයි.

                                                                  සොකොත්‍රා දිවයිනේ පිහිටීම

පිහිටීම සහ භූගෝලීය කරුණු

සොකොත්‍රා, අරාබි අර්ධද්වීපය සහ අප්‍රිකාවේ සෝමාලියාවට අතර අරාබි මුහුදේ පිහිටා තිබෙන දූපතක්. දුර ප්‍රමාණයෙන් ගතහොත්, සෝමාලියාවේ "කැප් ගාර්ඩෆුයි" ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 240ක් නැගෙනහිරින් සහ යේමනයේ "රාස් ෆර්ටැක්" සිට කිලෝ මීටර් 380ක් දකුණු දෙසින් සොකොත්‍රා දූපත පිහිටා තිබෙනවා. ඒ අනුව සොකොත්‍රා, ප්‍රධාන භූමීන්වලින් සැලකිය යුතු දුරකින් ඈත්ව පිහිටි බිම්කඩක්. සොකොත්‍රා අවට තවත් කුඩා දූපත් කිහිපයක් පිහිටා තිබෙනවා.

වර්ග කිලෝමීටර 3796ක වපසරියකින් යුතු මෙම දූපත භූගෝලීය වශයෙන් කලාප තුනකට බෙදිය හැකි යි. වෙරළබඩ තැනිතලා, හුණුගල් සානුව, සහ හැග්ජීර් කඳුකර ප්‍රදේශය එම කලාප තුන වෙනවා. අර්ධ කාන්තාර දේශගුණයක් හෙබි සොකොත්‍රාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වඩා වැඩි අගයක් ගනු ලබනවා. දිවයිනට ලැබෙන්නේ තරමක් අඩු වර්ෂාපතනයක්. වෙරළබඩ ප්‍රදේශවලට සාපේක්ෂව ඉහළ කඳුකර ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා.

ජුනි සිට සැප්තැම්බර් දක්වා දිවයිනට මෝසම් සමය එළඹෙන අතර අධික සුළං සහ රළු මුහුද නිසා එම කාලය තුළ නෞකා මාර්ගයෙන් දූපතට ළඟා වීම දුෂ්කර යි. මේ හේතුව නිසා අතීතයේ දී සොකොත්‍රා දූපත මෝසම් කාලය තුළ බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වුණා. නමුත් දැන් සොකොත්‍රාවට ගුවන්තොටුපළක් තිබෙනවා. වර්තමානයේ සොකොත්‍රා දිවයින යේමනය යටතේ පාලනය වන ප්‍රදේශයක්.

                                                            සොකොත්‍රා දූපතේ ස්වදේශිකයන්


ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගුජරාටි නැවියන්, සොකොත්‍රා ආශ්‍රිත නාවික මාර්ගය "නිරන්තරයෙන් ගර්ජනා කරන සොකොත්‍රාවේ සිංහයා" යන අරුත ඇති  “සිකොත්‍රෝ සිං” ලෙස හැඳින්වූවා. වසරේ වැඩි කාලයක් රළුව පවතින සොකොත්‍රා ආශ්‍රිත මුහුද නිසා ඔවුන් එම නාමය ව්‍යවහාරයේ පවත්වාගත් බව සිතිය හැකි යි. කෙසේ නමුත්, මෙම ස්වභාවික පිහිටීම නිසා අතීතයේ සිටම නෞකා බලය තිබූ අරාබිකරයට පවා සොකොත්‍රා දිවයිනට ළඟා වීමට හැකි වුණේ වසරේ සීමිත කාලයකට පමණ යි. කෙසේ නමුත්, පුරාණ කාලයේ පටන්ම සොකොත්‍රා දිවයින ඖෂධීය සහ සුගන්ධවත් ශාක මැලියම්, ලොව හොඳම කෝමාරිකා, ඇම්බර්, සහ මුතු වැනි නිෂ්පාදනවලට ප්‍රචලිතව තිබුණා.

ජෛව විවිධත්වය

සොකොත්‍රා දිවයින ගැන තොරතුරු අධ්‍යයනය කිරීමේ දී අපට හමුවන වැදගත්ම සහ ආකර්ෂණීයම දෑ වන්නේ එහි ජෛව විවිධත්වය යි. මේ දූපතේ තිබෙන ශාක සහ සත්ත්ව ප්‍රජාවෙන් වැඩි කොටසක් ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක දකින්නට ලැබෙන්නේ නැහැ.

                                               බෝතල් ගස, එහෙමත් නැත්නම් කාන්තාර රෝස ශාකය

පෘථිවියේ ඉතාම ආගන්තුක තැනක් ලෙස සොකොත්‍රාව සලකන්න ඇතැම් සංචාකයන් පුරුදුව සිටිනවා. එයට හේතුව වන්නේ මෙහි පවතින දුර්ලභ ශාක බොහෝමයක් අමුතු හැඩයක් ගන්නා නිසා යි. සොකොත්‍රාවේ සොබාදහමට යම් හානියක් පැමිණියහොත්, එය ලෝකයට දරා ගන්නට බැරි තරමේ විශාල පාඩුවක්යැ යි පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. දැනට කර ඇති අධ්‍යනයන්ට අනුව මෙම දිවයිනේ ශාක විශේෂ 825ක් තිබෙන බව පැවසෙනවා. එයින් විශේෂ 308ක් (ප්‍රතිශතයක් ලෙස 37%ක්) දූපතට ආවේණික යි. මීට අමතරව පක්ෂීන් විශේෂ 225ක් සොකොත්‍රා දිවයිනේ සිටිනවා. එයින් විශේෂ හයක්ම දූපතට ආවේණික යි. තව ද, සමනල විශේෂ 190ක් සහ කෘමීන් විශේෂ 600ක් පමණ දූපතෙන් මේ දක්වා වාර්තා වී තිබෙන අතර, මේ දෙවර්ගයේම විශේෂවලින්  90%ක් දූපතට ආවේණික වීමෙන් සොකොත්‍රාව කොතරම් ජෛව සංවේදී කලාපයක් ද යන්න සිතාගත හැකි යි. මේ වැදගත්කම නිසා 2008 වර්ෂයේ දී සොකොත්‍රා දිවයින යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් බවට පත් වෙනවා.

මකර ලේ ගස් සහ බෝතල් ගස්

අමුතු හැඩයක් ගන්නා ශාක විශේෂ රාශියක් සොකොත්‍රා දිවයිනේ පැතිරී තිබෙනවා. ඒ අතරින් සාමාන්‍ය ව්‍යවහාරයේ "මකර ලේ ගස" යනුවෙන් හැඳින්වෙන ශාක විශේෂය නිසා සොකොත්‍රා දිවයින ලෝකය පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා. දිගහරින ලද කුඩයක හැඩයක් ගන්නා මෙම ශාකයේ කඳට හානි කළ විට තද රතු පැහැති යුෂයක් වැගිරෙනවා. මේ තද රතුපැහැ යුෂය නිසා ශාකය "මකර ලේ ගස" යනුවෙන් හඳුන්වනවා. මෙම යුෂය, රූපලාවණ්‍ය කටයුතු සහ ඖෂධයක් ලෙස පුරාණයේ පටන් භාවිතයට ගෙන තිබෙනවා. විද්‍යාත්මකව Dracaena cinnabari ලෙස හඳුන්වන මෙම ශාකය මුහුදු මට්ටමේ සිට මීටර් 800ක් පමණ උසින් පිහිටා ඇති ඩික්සම් සානුවේ දක්නට ලැබෙනවා.

සොකොත්‍රා දිවයිනේ ඇතැම් ශාක ස්ථුල හෝ ඉදිමුණු ස්වභාවයක් ගන්නා කඳකින් සමන්විත යි. ශුෂ්ක පරිසරයක් දිවයින තුළ පවතින නිසා හැකිතාක් ජලය ගබඩා කිරීමට ඇති කරගත් අනුවර්තනයක් ලෙස මෙම ස්ථුල කඳන් හැඳින්විය හැකි යි. මේ නිසා එම ශාකවලට විචිත්‍ර පෙනුමක් ලැබී තිබෙනවා. මෙම ලක්ෂණය සඳහා වඩාත්ම ප්‍රසිද්ධ උදාහරණය වන්නේ බෝතල් ගස යි. බෝතල් ගස "කාන්තාර රෝස" ලෙසත් හඳුන්වනවා. විද්‍යාත්මක නාමය වන්නේ Adenium obesum socotranum.

                                                     රක්ත පැහැ යුෂයක් වැගිරෙන "මකර ලේ ගස"

"කියුකම්බර් ගස" (විද්‍යාත්මක නාමය වන්නේ Dendrosicyos socotranum)  කියන්නේත් තවත් එවැනිම අමුතුම හැඩයක් තිබෙන ශාකයක්. මෙම ශාකය උද්භිද විද්‍යාත්මකව ඉතා වැදගත්. පිපිඤ්ඤා පවුලට අයත් (උද්භිද විද්‍යාත්මකව කුකුර්බිටේසියේ පවුල) ලෝකයේ එකම වෘක්ෂරූපී හෝ වෘක්ෂයක් ලෙස වැඩෙන ශාකය වන්නේ සොකොත්‍රාවට ආවේණික වන කියුකම්බර් ගස යි.

ජන ජීවිතය

සොකොත්‍රා දිවයින තම නිවහන කරගෙන ඇත්තේ එහි ඇති අද්විතීය ශාක සහ සත්ත්ව ප්‍රජාව පමණක්ම නොවේ. මෙම ස්වභාවික පරිසරය සමග අතීතයේ පටන් සහජීවනයෙන් කටයුතු ක‍රන මිනිසුන් පිරිසකුත් එහි වාසය කරනවා. වර්තමානයේ සොකොත්‍රා දිවයිනේ ජනගහනය 50,000ක් පමණ. එයින් වැඩිපුරම පිරිසක් ජීවත් වන්නේ "හඩිබෝ" ලෙස හඳුන්වන නගරයේ යි. වසර ගණනාවක පටන් ඔවුන් තමන් වෙසෙන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා සකස් කරගත් සාම්ප්‍රදායික නීති රීති රාමුවක් තුළ ජීවත් වෙනවා. අද දක්වා මේ සුවිශේෂී පරිසර පද්ධතිය ආරක්ෂා වීම පිටුපස ඔවුන්ගේ ජීවන රටාවත් හේතු වී තිබෙනවා.

දූපත් වැසියන්ගෙන් බහුතරයක් මෑතක් වනතුරුම ඔවුන්ගේ පශු සම්පත්වලින් යැපුණු අතර, ශුෂ්ක පරිසරය හමුවේ සතුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සම්බන්ධය ගැටලුවලට මුහුණ දුන්නා. සතුන්ගේ ආහාර සඳහා ඔවුන් දූපතේ විවිධ ප්‍රදේශවලට එක් එක් කාලවල දී සංචරණය කරනවා. දූපතේ එකම කොටසක් පශු සම්පත සඳහා දිගු කලක් භාවිතා නොකොට, විවිධ පෙදෙස්වලට සතුන් ගෙනයන නිසා සතුන්ගෙන් පරිසරයට එතරම් හානියක් සිදුවන්නේ නැහැ. දූපතේ සීමිත සම්පත් කළමණාකරණය කිරීමට ඔවුන් පුරුදුව සිටිනවා. නමුත් වර්තමානයේ ඔවුන්ට සත්ත්ව පාලනය හැර තවත් ආදායම් මාර්ග තිබෙනවා. දූපතට යම් සංචාරක ආකර්ෂණයක් තිබෙන නිසා ඒ ආශ්‍රිත ආදායම් මාර්ග දැන් නිර්මාණය වෙලා. මීට අමතරව ධීවර කර්මාන්තය සහ වැසි දියෙන් පෝෂණය වෙන කුඩා පරිමාණයේ වගා බිම් දූපත් වැසියන්ගේ ආර්ථිකයට පිටුවහලක් වී තිබෙනවා.

                                                                              කියුකම්බර් ගස

සංචාරකයෙකුට ගත හැකි අත්දැකීම්.

සොකොත්‍රා කියන්නේ එතරම් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් නොවෙයි. මැදපෙරදිග වඩාත් අර්බුදකාරී රටක් වන යේමනය යටතේ පාලනය වන භූමියක් නිසා ප්‍රධාන ගොඩබිමේ අස්ථාවරත්වය සොකොත්‍රාවටත් බලපා තිබෙනවා. නමුත් මෙම දිවයින කිසිවිටෙකත් යේමනයේ පවතින යුද ගැටුම්වලට මැදි වී නැහැ. ඒ අනුව සොකොත්‍රා දිවයින ආරක්ෂිත ස්ථානයක් බව පැවසිය හැකි යි. ලෝකයේ අප්‍රසිද්ධ ස්ථාන ගවේශනය කිරීමට කැමති සංචාරකයන් අතර සොකොත්‍රාව දැන් ජනප්‍රිය යි. පවතින සංස්කෘතික රාමුව නිසා එහි කාන්තාවන් තරමක් ලැජ්ජාශීලි වුව ද, පොදුවේ ගත්කල දිවයිනේ වැසියන් ඉතා මිත්‍රශීලි, සංචාරකයන් පිළිගන්නා ජන කොට්ඨාශයක්.

ඔක්තෝබර් සිට මැයි දක්වා සොකොත්‍රා දිවයිනේ සංචාරය කිරීමට උචිත කාල වකවානුව ලෙස හැඳින්වෙනවා. එයිනුත් ඔක්තෝබර්, නොවැම්බර්, සහ පෙබරවාරි මාස වඩාත් සුදුසු යි. එම කාලවල දී දූපත තුළ තිබෙන්නේ වැසි රහිත සහ උණුසුම අඩු කාලගුණයක්.

දූපතේ ජෛව විවිධත්වයට අමතරව කඳුකර ප්‍රදේශයේ තිබෙන ගැඹුරු දොරු තරණය කිරීම, ආචර්, ඩෙලීෂා වැනි සුන්දර මුහුදු තීරයන්, විවිධ භූවිෂමතාවලින් පරිපූර්ණ වූ ගුහා සංකීර්ණ, වාඩි ඩිෆාර්හු ස්වභාවික ජල තටාකය වැනි සුන්දර ස්ථාන බොහෝමයක් මෙම දූපතේ නැරඹීමට තිබෙනවා. සොකොත්‍රා ජනාවාසවල කාලය ගත කරමින ඔවුන්ගේ සංස්කෘතිය, ජීවන රටාව, අධ්‍යයනය කිරීමත් හොඳ සංචාරක අත්දැකීමක් වේවි.


                                             සොකොත්‍රා දූපතේ වැඩිම ජනගහනයක් සිටින හඩිබෝ නගරය

කෙසේ නමුත්, සොකොත්‍රා දිවයින කියන්නේ ඉතා අවම පහසුකම් තිබෙන ස්ථානයක්. සොකොත්‍රාවට සංචාරය කිරීමට පෙර සැලසුම් කරගත යුතු බොහෝ කාරණා තිබෙනවා. එම නිසා උනන්දු වන්නෙකු සිටී නම් ලිපියේ අඩංගු කරුණු තවදුරටත් අධ්‍යනය කළ යුතු යි. විශේෂයෙන්ම යේමනයේ පවතින අනාරක්ෂිත බව සොකොත්‍රාවේ දී අවම වුණත්, දූපතේ පරිපාලනය සම්බන්ධයෙන් යේමනය වගකීම දරන නිසා සොකොත්‍රා දිවයිනට සංචරණය කිරීමේ දී ඒ ගැන සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. දූපතේ නවාතැන් පහසුකම්, ආහාර, සන්නිවේදනය, වැනි සංචාරකයෙකුට වැදගත් වන බොහෝමයක් වැඩිදුර තොරතුරු ඔබට අන්තර්ජාලයෙන් ලබාගත හැකි යි. සොකොත්‍රා දූපතටම වෙන්වූ වෙබ් අඩවියකුත් තිබෙනවා.

Friday, April 30, 2021

90%ක් වනයෙන් වැසුණු රට 😍

 සුරිනා


ලෝකයේ වඩාත් ප්‍රචලිත වූ සංචාරක ගමනාන්ත අතරින් දකුණු ඇමරිකා මහද්වීපයේ බ්‍රසීලය, ආර්ජන්ටිනාව, පේරු වැනි රාජ්‍යයන් ඉදිරියෙන්ම සිටිනවා. විවිධත්වයෙන් අනූන වූ සංස්කෘතීන්, ඉන්කා වැනි ලෝක ප්‍රසිද්ධ ශිෂ්ඨාචාරයන්, ඇමසෝන් වනාන්තරය වගේම, මේ මහද්වීපයේ රටවල් බොහෝමයක් පාපන්දු ක්‍රීඩාවෙන් ලෝකය පුරා තම අණසක පතුරුවා තිබෙන නිසා, දකුණු ඇමරිකානු රටවල් බොහෝමයක් ගැන අපි යම්තරමකින් හෝ දැනුවත්. මීට අමතරව හියුගෝ චාවේස්ගේ පාලන තන්ත්‍රය සහ තෙල් සම්පත නිසා වෙනිසුවෙලාවත්, කෝකේන් සම්බන්ධ සිද්ධීන් නිසා කොළොම්බියාවත් ලෝකය තුළ වැඩියෙන්ම කතා බහට ලක් වූ දකුණු ඇමරිකානු රාජ්‍යයන්.

මේ සියළු දකුණු ඇමරිකානු පතාකයන් අතර ප්‍රකට සංචාරක ගමනාන්තයක් වන හෝ, ලෝකයේ අවධානය වැඩිපුර හිමි නොවුණ ප්‍රකට රාජ්‍යයක් ලෙස සුරිනාමය හැඳින්විය හැකියි. නමුත් සුරිනාමය කියන්නේ ලෝකය තුළ වැදගත් භූමිකාවක් නිහඬවම ඉටුකරගෙන යන දකුණු ඇමරිකානු රාජ්‍යයක්. එම නිසා මෙම ලිපියෙන් සුරිනාමය ගැන වැදගත් තොරතුරු කිහිපයක් ගෙන එනවා.  

භූගෝලීය තොරතුරු

සුරිනාමයේ පිහිටීම

සුරිනාමය, දකුණු ඇමරිකා මහද්වීපයේ උතුරු වෙරළ තීරයට මායිම් වූ රාජ්‍යයක්. ඒ අනුව උතුරින් අත්ලාන්තික් සාගරයටත්, නැගෙනහිරින් තවමත් ප්‍රංශයෙන් පූර්ණ නිදහස නොලැබූ ප්‍රංශ ගයනාවටත්, දකුණින් බ්‍රසීලයටත්, බටහිරින් ගයනාවටත්, සුරිනාමය මායිම් වෙනවා. භූමි ප්‍රමාණය අනුව සුරිනාමය දකුණු ඇමරිකාවේ කුඩාම ස්වාධීන රාජ්‍යය වන අතර සංඛ්‍යාත්මකව එය වර්ග කිලෝමීටර් 163,270ක් පමණ වෙනවා.

සුරිනාමයේ පවතින්නේ නිවර්තන දේශගුණයක්. ‍රටේ වඩාත් ජනාකීර්ණ වූ උතුරු ප්‍රදේශයේ ඍතු හතරක් දක්නට ලැබෙනවා. දෙසැම්බර් මුල සිට පෙබරවාරි මුල දක්වා සුළු වැසි සමයක් ද, පෙබරවාරි මුල සිට අප්‍රියෙල් අග දක්වා සුළු වියළි කාලයක් ද, උතුරු ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. මෙම ප්‍රදේශයේ ප්‍රධාන වැසි සමය සහ ප්‍රධාන වියළි සමය පිළිවෙලින් අප්‍රේල් අග සිට අගෝස්තු මැද දක්වා සහ අගෝස්තු මැද සිට දෙසැම්බර් මුල දක්වා ද වෙනවා.

රටේ අගනුවර වන පැරමැරිබෝහි දිවාකල උෂ්ණත්වය සෙල්සියස් අංශක 21-32 අතර අගයක පවතින නමුත් උණුසුම්ම මාසය වන සැප්තැම්බරය සහ ශීතලම මාසය වන ජනවාරිය අතර උෂ්ණත්ව වෙනස අංශක තුනක් පමණ යි. නිවර්තන වැසි වනාන්තර බහුල රටක් නිසාම රට පුරා සාපේක්ෂව සැළකිය යුතු වාර්ෂික වර්ෂාපතනයක් දක්නට ලැබෙනවා. වැඩිම වර්ෂාපතනය රටේ මධ්‍යම සහ ගිණිකොණ දෙසට ලැබෙන අතර අගනුවර ආශ්‍රිතව පමණක්, වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2400ක් ලෙස සඳහන් වෙනවා.

ඉතිහාසයෙන් බිඳක්

සුරිනාමයේ මුල් වැසියන් ලෙස හඳුනාගැනෙන්නේ “සුරිනන් ඉන්දියානුවන්” නමැති ජන කොට්ඨාශය යි. සුරිනාමය ලෙස මෙම රටට නම ලැබීමට හේතුවුණෙත් මේ ජන කොට්ඨාශය නිසා යි. නමුත් දහසය වැනි සියවස වන විට වෙනත් දකුණු ඇමරිකානු ස්වදේශික ගෝත්‍ර (රතු ඉන්දියානු ගෝත්‍ර) සුරිනාම් භූමිය තුළ ජනාවාස ඇතිකිරීමට පටන් ගත්තා. යටත්විජිතකරණයට ලක්වූ දකුණු ඇමරිකානු රටවල් සැළකීමේ දී, සුරිනාමයේ යටත්විජිත අවධිය තරමක් වෙනස් වූ ස්වභාවයක් උසුලනවා. බොහෝමයක් දකුණු ඇමරිකානු රටවල් ස්පාඤ්ඤය යටතට පත්වුණත්, සුරිනාමය බොහෝ කලක් යටත්විජිතයක් ලෙස පවත්වාගෙන යාමේ අවස්ථාව හිමිවුණේ ලන්දේසින්ට යි. කෙසේ නමුත් සුරිනාමය මුලින්ම ගවේශනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ස්පාඤ්ඤවරුන්ට යි. ක්‍රිස්තු වර්ෂ 1602 වන විට ලන්දේසි ජාතිකයන් සුරිනාමය තුළ පදිංචි වීම ඇරඹුවත්, පසුව ඉංග්‍රීසින්ගෙන් ද බලපෑම් ඇතිවීමට පටන්ගත්තා. එහෙත් පසුව ඇති කරගත් බ්‍රෙඩා ගිවිසුමට අනුව වර්ෂ 1667 දී ඉංග්‍රීසින් විසින් ලන්දේසීන්ට සුරිනාමයේ ස්වෛරීභාවය පැවරුවා. නමුත් යටත්විජිතකරණය වඩාත් සක්‍රීය ලෙස පැවතුණේ සුරිනාමයේ වෙරළාශ්‍රිත ප්‍රදේශය ආශ්‍රිතව පමණක් බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. 

සංස්කෘතික විවිධත්වයෙන් අනූන රටක් තමයි සුරිනාමය

ලන්දේසීන් සුරිනාමය තුළ පවත්වාගෙන ගිය කෝපි, උක් වැනි වාණිජ වගාවන් සඳහා අප්‍රිකාවෙන් ගෙන්වන ලද වහලුන්ගේ සේවය ලබාගත්තා. වර්ෂ 1863 දී වහල්භාවය අහෝසි කර දමන තෙක්ම මෙම අප්‍රිකානුවන් සුරිනාමයේ වාණිජ වගාවන් වෙනුවෙන් දහඩිය වැගිරුවා. පසුව මෙම අප්‍රිකානුවන් රට අභ්‍යන්තරයේ ඝන වනාන්තරය තුළට පලාගොස් තම අප්‍රිකානු සංස්කෘතිය යළි වැළඳගනිමින් නිදහසේ ජීවත්වීමට පටන්ගත්තා. මෙලෙස පලා ගිය අප්‍රිකානුවන් "බුෂ් නීග්‍රෝවරුන්" ලෙස ලන්දේසීන් හැඳින්වූවා. 1870න් පසු මෙම වතුවල සේවය සඳහා ඉන්දියානුවන් සහ වර්තමාන ඉන්දුනීසියාවේ ජාවා දූපත් වැසියන් සුරිනාමයට ගෙන ඒමට ලන්දේසීන් කටයුතු කළා. මෙම විජාතිකයන්ගේ පැමිණීම නිසා සුරිනාමය පසුකලෙක බහු සංස්කෘතික රටක් බවට පත්වුණා.  

සාමූහිකත්වයෙන් විචිත්‍ර වූ රටක්

සුරිනාමය කියන්නේ රටේ භූමි ප්‍රමාණයට සාපේක්ෂව ඉතා අඩු ජනගහනයක් වෙසෙන රටක්. සංඛ්‍යාත්මකව එය 607,600ක් පමණ වෙනවා. නමුත් සුරිනාමය කොතරම් අවම ජනගහනයක් වෙසෙන රටක් ද යන්න ගැන අදහසක් ගැනීමට නම් එහි ජන ඝනත්වය සැළකිල්ලට ගතයුතු වෙනවා. සුරිනාමයේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 3.5ක් පමණ යි. මෙම කුඩා රටේ ජනගහනයෙන් අඩකට වඩා ජීවත් වන්නේ අගනුවර වන පැරමැරිබෝ ආශ්‍රිතව යි.

ඉතිහාසය තුළ යටත්විජිතකරණ බලපෑමෙන් සුරිනාමයට පැමිණි විවිධ ජන වර්ගවලින් සුරිනාමයේ සංස්කෘතිය හැඩගැන්වී තිබෙනවා. සුරිනාමයේ විශාලතම ජන වාර්ගික කණ්ඩායම ඉන්දු-පාකිස්ථාන සම්භවයක් සහිත (පොදුවේ හින්දුස්ථානි ලෙස හඳුන්වන) පුද්ගලයින්ගෙන් සමන්විත යි. එය ප්‍රතිශතයක් වශයෙන් 27.4%ක් වුවත්, සුරිනාමය තුළ කිසිම ජන වර්ගයක් සැළකිය යුතු ලෙස ප්‍රමුඛ වෙන්නේ නැහැ. මීට අමතරව වහල් සේවයට අප්‍රිකාවේ සිට ගෙන ආ අයවලුන්ගෙන් පැවතෙන "මැරූන්ස්" නමැති ජන කොට්ඨාශයත්, ක්‍රෙයෝල්ස් නම් මිශ්‍ර ජන වර්ගය සහ ඉන්දුනීසියාවේ ජාවා දූපත් වැසියන් ගෙන් පැවත ගෙන එන ජාවානීස් ජාතිකයනුත් සුරිනාමයේ දිවි ගෙවනවා. බහුවාර්ගික රටක් වුවත්, ජාතීන් අතර ගැටීම් නැති බොහොම සාමකාමී රටක් ලෙස සුරිනාමය හැඳින්වෙනවා. උදාහරණයක් ලෙස යුදෙව් භක්තිකයන්ගේ සිද්ධස්ථනයක් ආසන්නයේම මුස්ලිම් පල්ලියක් පවත්නා ලෝකයේ අල්පතර වූ ස්ථාන අතර පැරමැරිබෝ අගනුවරත් එකක්. 

ජන වර්ග කිහිපයක සුසංයෝගය නිසාම රට තුළ පුළුල් භාෂා විවිධත්වයක් ද දක්නට ලැබුණත්, සුරිනාමය තමාගේ නිල භාෂාව ලෙස හඳුන්වන්නේ ලන්දේසි භාෂාව යි. ඔවුන් එම භාෂාව තමාගේ උරුමයක් ලෙස සළකන අතර ලන්දේසි භාෂාව කතා කරන අනෙකුත් රටවල් සමග සබඳතා පවත්වා ගෙන යෑමට ලන්දේසි භාෂා සංගමයකට ද බැඳී සිටිනවා. අද වනවිට ස්වාධීන ජාතියක් වුණත්, සුරිනාමයේ පරිපාලනය තවමත් නෙදර්ලන්තය සමග ශක්තිමත් සබඳතා පැවැත්වීමට කටයුතු කරනවා. රූඩ් ගුලිට්, නයිජල් ඩි ජොං වැනි සුරිනාම් සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයන් නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කිරීම මෙම සමීපත්වයට උදාහරණයක්.

ලන්දේසීන් අමතක නොකරන පැරමැරිබෝ

පැරමැරිබෝ අගනුවර පිහිටි ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රදේශය දකුණු ඇමරිකාවේ පිහිටි සංස්කෘතිමය වශයෙන් වඩාත් සිත්ගන්නා සුළු ප්‍රදේශයක් ලෙස සැළකෙනවා. දහහත්වන හා දහඅටවන සියවස්වල ලන්දේසි යටත්විජිත යුගයේ බොහෝ ගොඩනැගිලි තවමත් මෙහි දැකගත හැකියි. මුල් ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය පැරණි ගොඩනැඟිලිවල තවමත් දැකිය හැකි වන අතර වර්තමානයේ පවා සුරිනාමයේ ගෘහ නිර්මාණ ශිල්පය ලන්දේසි ශෛලියට අනුගතවීමේ නැඹුරුතාවයක් තිබෙනවා. පසුකලෙක පැරමැරිබෝවේ මෙම ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කර තිබෙනවා.

ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පය රැක ගැනීමට වෙහෙසෙන පැරමැරිබෝ නගරය

සංස්කෘතික සබැඳියාව පෙන්වන ආහාරය, "පොම්"

සුරිනාමයට පැමිණෙන ඕනෑම කෙනෙක් බුක්තිවිඳිය යුතු සුවිශේෂී ආහාරයක් තමයි "පොම්" කියන්නේ. එම ආහාරය සුරිනාමය පිහිටුවීමට උපකාරී වූ යුදෙව් සහ ක්‍රෙයෝල් සම්භවයක් ඇති මිනිසුන්ගේ සංස්කෘතික සම්මිශ්‍රණය විදහා දක්වන සංකේතයක් ලෙස හඳුනාගැනෙනවා. මේ ආහාරය මස් ස්වල්පයක් සහ ටේයර් නම් දේශීය පැළෑටිවලින් ආවරණය කොට, කුකුල් මස් සමග සැන්ඩ්විච් එකක් ආකාරයෙන් සකසාගනු ලබනවා. පසුව තක්කාලි, ළූණු, සාදික්කා, සහ තෙල්වලින් සාදන ලද සෝස් එකකින් සැන්ඩ්විචයක් ලෙස සකසාගත් "පොම්" ආවරණය කොට උඳුනක් මත පිසගන්නවා. මෙම ආහාරය සුරිනාම ජාතිකයන් උපන්දින සැමරුම් වැනි විශේෂ අවස්ථා සැමරීමේ දී සකසාගන්නවා.

සුරිනාමයේ සංස්කෘතික සංහිඳියාව පෙන්වන ආහාරය, "පොම්"

ආර්ථිකමය කරුණු කෙටියෙන්

සුරිනාමයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් ඛනිජ සම්පත් මත රඳා පවතිනවා. ඛනිජ තෙල්, රත්‍රන්, ඇලුමීනියම් ලබාගන්නා ඛනිජය වන බොක්සයිට් මෙන්ම, කෘෂිකර්මාන්තය සහ මුදල් ප්‍රේෂණය මඟින් සුරිනාමයේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. සුරිනාමයේ වෙළඳ සහකරුවන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විස්ටර්ලන්තය, ලිච්ටෙන්ස්ටෙයින්, එක්සත් ජනපදය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, නෙදර්ලන්තය, බෙල්ජියම සහ චීනය විශේෂ ස්ථානයක් ගනු ලබනවා.

අධික වන ගහණයක් සහ නොයෙකුත් ස්වාභාවික සෞන්දර්යෙන් යුතු ස්ථාන රාශියකින් සුරිනාමය සමන්විත වුවත්, සංචාරක කර්මාන්තය එරට තුළ වර්ධනයවීමට පටන් ගත්තේ 21 වන සියවසේ මුල්භාගය තුළ යි.

භූමියෙන් 90%ට වැඩියෙන් ඇත්තේ වනාන්තරයි

සුරිනාමය සම්බන්ධයෙන් අවධානයට ලක්කළ යුතු වැදගත්ම කාරණය වන්නේ, එහි ඇති අධික වන ඝනත්වය යි. සුරිනාමයත්, සුවිශාල ඇමසන් වනාන්තරයේ කොටසකට උරුමකම් කියනවා. නමුත් සුරිනාමයට අයත් මෙම වැසි වනාන්තර පද්ධතිය මිනිස් බලපෑම හමුවේ අවදානමට පත් වී ඇත්තේ ඉතාම අඩුවෙන්. සුරිනාමයේ භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර මිලියන 15.3ක්ම නතු වී ඇත්තේ මහා වනාන්තරයට යි. එය ප්‍රතිශතාත්මකව භූමි ප්‍රමාණයෙන් 94%ට ආසන්න අගයක්.

90%කට වඩා වන වැස්මක් සහිත රාජ්‍යයක් ලෙස සුරිනාමය හැඳින්වෙනවා

වර්තමාන ලෝකය තුළ උද්ගතව පවතින දැවැන්ත වන විනාශය හමුවේ මෙවැනි වන වැස්මක් සහිත රටක් තිබීමත් පුදුමයට කාරණාවක්. සුරිනාම්හි වනගත භූමියෙන් 91.4%ක් ප්‍රාථමික වනාන්තර වෙනුවෙන් වෙන්වන අතර 8.5%ක ප්‍රමාණයක් නැවත පුනර්ජනනය වූ වනගත භූමීන් වෙනවා. වන වැස්මෙන් 0.1%ක් නැවත රෝපණය කර තිබෙනවා. බොහෝවිට රටේ මධ්‍යම කොටස අතීතයේ මෙන් නොවෙනස්ව තවමත් වනාන්තරයට නතුව තිබෙන අතරවාරයේ පැරමැරිබෝ වැනි වෙරළාශ්‍රිත නගර ආසන්නව රටේ ජනගහණය පැතිරගොස් තිබෙනවා. මෙම ජනගහණයේ විෂම පැතිරීමත් සුරිනාමයේ වන ගහණය ඉතිහාසයේ සිටම ආරක්ෂාවීමට හේතු වී තිබෙනවා. 2004-2013 අතර කාලයේ මෙම වන වැස්මෙන් මිනිස් පරිභෝජනය සඳහා යොදාගෙන ඇත්තේ හෙක්ටයාර 16,000ක් පමණ යි.

වර්තමානයේ සුරිනාමය සතු මෙම පුළුල් වන වැස්ම ගෝලීය වශයෙන් සුවිශාල මෙහෙවරක් නිනඬවම සිදු කරගෙන යනවා. දැනට ඇස්තමේන්තුගත කර ඇති පරිදි වාර්ෂිකව කාබන් ටොන් මිලියන අටකටත් වඩා අවශෝෂණය කරගැනීමේ හැකියාවක් මෙම වන වැස්ම සතු යි. පසුගිය වකවානුවේ බ්‍රසීලය කේන්ද්‍ර කරගනිමින් ඇමසෝන් වනාන්තරයේ ඇතිවූ දැවැන්ත වන විනාශය හමුවේ එරට ජනපති බොල්සොනාරෝගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හා සැසඳීමේ දී ඇමසෝන් වනය සම්බන්ධයෙන් සුරිනාමයේ ක්‍රියාපිළිවෙත ප්‍රශංසනීය බව කිව හැකියි. එහෙත් සුරිනාම් ආර්ථිකයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ඛනිජ සම්පත් කැණීම හමුවේ ඉදිරියේ දී තත්ත්වය වෙනස්වීමටත් ඉඩ තිබෙනවා.


Tuesday, March 23, 2021

මිනීකන්නන්ගේ දේශයක් වූ රුසියාවේ නසිනෝ දූපත 😯

  නසිනෝ දූපත


සෑම වසරකම කුඩා කණ්ඩායමක්, රුසියාවේ "ටොම්ස්ක්" නම් නගරයේ සිට කිලෝමීටර් 550ක් වයඹ දෙසින්, ඕබ් ගංගාව මැද පිහිටි එක්තරා දූපතකට යනවා. මේ දූපත නසින්ස්කි හෝ නසිනෝ දූපත ලෙසත් හැඳින්වෙනවා. ඔවුන් මෙලෙස දූපතට පැමිණෙන්නේ දූපතේ පිහිටුවා ඇති ලී කුරුසය පාමුල මල් වඩමක් තබා ලෝක ඉතිහාසයේ මෑත කලෙක සිදු වූ දරුණු අමානුෂික ඛේදවාචකයක් සිහිපත් කිරීම සඳහා යි. වර්ෂ 1933 ග්‍රීෂ්ම ඍතුවේ දී මේ කුඩා දූපතේ සිදුවූ සිදුවීම් දාමයක් නිසා, ලෝකය නසිනෝ දූපත "මිනීකන්නන්ගේ දූපත" ලෙසත් හඳුන්වන්න පටන් ගත්තා.

රුසියාවේ සයිබීරියාව නම් අතිශය කටුක දේශගුණයක් සහිත පරිසරයක් මැද පිහිටි මේ දූපත ඉතිහාසයේ සිටම මිනිස් පහස ලබා ඇත්තේ ඉතාම කලාතුරකින්. බොහෝ විට එම දූපතට පැමිණි එකම අමුත්තන් පිරිස වන්නේ, ගස්වල පොතු එකතු කිරීම සඳහා පැමිණෙන ඔස්ටියැක් නම් ස්වදේශික ජන කොට්ඨාශයේ සාමාජිකයන් පමණ යි. එලෙස හුදෙකලාවටම නතුවී තිබුණ මෙම දූපත ලේ වැකුණු ඉතිහාසයකට උරුමකම් කීවේ කෙසේ ද?


අඳුරු ඉතිහාසය සිහිපත් කරන නසිනෝවේ කුරුසය


ස්ටාලින්ගේ මර්දන ප්‍රතිපත්තිය

1929 දී එවකට සෝවියට් සමූහාණ්ඩුවේ පාලකයා වූ ජෝසප් ස්ටාලින්, යුක්‍රේනයේ කුලාක්වරු ඉදිරියේ යම් ගැටළුවකට මුහුණ දෙමින් සිටියා. කුලාක්වරු කියන්නේ ඉඩම් අක්කර 8කට වඩා හිමි ඉඩම්හිමියන්ට. මෙම කුලාක්වරු ස්ටාලින්ගේ සාමූහිකකරණ ප්‍රතිපත්තියට එරෙහිව කුඩා පරිමාණයේ කැරැල්ලක නිරත වෙමින් සිටියා. රට තුළ විශාල සමූහ ගොවිපළ ඇති කිරීම සඳහා වූ ස්ටාලින්ගේ අභිප්‍රායට එදිරිව යමින්, කුලාක්වරු තම සතුන්, ගොවි උපකරණ, සහ ආවුද විනාශ කිරීමට පෙළඹුණා. ඒවා සෝවියට් පරිපාලනයට භාර දෙනවා වෙනුවට විනාශ කිරීම හරහා, කුලාක්වරු ස්ටාලින් පරිපාලනය කෙරෙහි වූ තම විරෝධය දැක්වූවා.

කුලාක්වරු සෝවියට් සමූහාණ්ඩුව තුළ ඉඩම්හිමි ධනවතුන් පිරිසක් ලෙස දිවි ගෙවූ අතර, ඔවුන්ගේ විරෝධතා හමුවේ ස්ටාලින් පරිපාලනය කුලාක්වරු රාජ්‍යයේ සතුරන් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම ධනවත් ගොවීන් පමණක් නොව, ස්ටාලින්ගේ ප්‍රතිපත්තිවලට එකඟ නොවන ඕනෑම කෙනෙකු තම සතුරෙකු ලෙස සැළකීමට ජෝසප් ස්ටාලින් දෙවරක් සිතුවේ නැහැ. තමා ගොඩනැඟීමට යන සමාජ ක්‍රමයට විරුද්ධ වන ඕනෑම කෙනෙකු දරුණු ලෙස මර්දනය කිරීමට පෙළඹුණු ස්ටාලින්ගේ ක්‍රියාකලාපයන් හමුවේ, අභ්‍යන්තර ගමන් බලපත්‍රයක් නොමැති වීම යන කාරණා හමුවේ පවා පුද්ගලයන් අත්අඩංගුවට පත්වුණා. මෙහි අවසාන ප්‍රතිඵලය වුණේ ලක්ෂ ගණනක් ජනයා ස්ටාලින් ගේ විරුද්ධවාදීන් ලෙස සළකා අත්අඩංගුවට ගැනීම යි.

පෙර කී අභ්‍යන්තර ගමන් බලපත්‍රය රුසියාවේ සාර් රජ පෙළපතේ හඳුන්වාදීමක්. මිනිසුන් තමන් සේවය කරන භූමිය තුළම රඳවා තබා ගැනීමේ උපායමාර්ගයක් ලෙස මෙම බලපත්‍රය යොදා ගැණුනා. පසු කලෙක ජෝසප් ස්ටාලින් පවා අභ්‍යන්තර ගමන් බලපත්‍රය ගෙන ආවේ මෙම අරමුණම පෙරදැරි කරගෙන බව කියවෙනවා. රජය විසින් වැදගත්යැ යි සැලකුණු පිරිස සඳහා මෙම ගමන් බලපත්‍රය නිකුත් කෙරුණු අතර, එවැන්නක් ලබා ගැනීමට අපොහොසත් වූ තැනැත්තෙක් පූර්ණ වශයෙන් සෝවියට් පුරවැසියෙකු නොවන බව සළකනු ලැබුවා. මේ ගමන් බලපත්‍රය හැඳුනුම්පතක් වූ නිසාවෙන්, රජය පුරවැසියන්ට ලබා දෙන ඇතැම් අයිතිවාසිකම් ද මෙම බලපත්‍රය නොමැති අයට හිමි වුණේ නැහැ.

වර්ෂ 1933 වන විට මෙලෙස අධිකව සිදු වූ අත්අඩංගුවටගැනීම් නිසා, සිරකරුවන් රැඳවූ "ගුලාග්" නම් රැඳවුම් කඳවුරු පද්ධතිය පිරී යන්නට පටන් ගත්තා. එයට විසඳුමක් ලෙස සෝවියට් සමූහාණ්ඩුවේ තවමත් ස්ටාලින්ගේ පාලනයට අකමැති සතුරු ප්‍රදේශවල ගොවිතැන සඳහා සිරකරුවන් පිටුවහල් කිරීමට යෝජනා වුණා. එමඟින් ඔවුන්ට දඬුවම් සමගම, රටේ ආහාර අර්බුදයටත් විසඳුමක් ලැබෙනු ඇතැ යි ස්ටාලින්ගේ පරිපාලනය සිතුවා. මෙම උපකල්පනය මත, අත්අඩංගුවටගැනීම් තවත් වැඩිවූ අතර මිනිසුන්ව මහමඟ පැහැරගැනීම්වලට පවා ලක් වුණා.


දූපතේ සිරකරුවන් බොහෝමයක් ස්ටාලින් පාලනට විරුද්ධ වූ අය යි


මෙලෙස අත්අඩංගුවට පත් වූ මිලියන දෙකක් තරම් වූ විරුද්ධවාදීන් පිරිසක් 1933 අප්‍රියෙල් වන විට අතිශය කටුක දේශගුණයක් පවතින සයිබීරියාවට දුම්රියේ නංවා පිටුවහල් කරනු ලැබුවා. පිටුවහල් කළ පිරිස වහලුන් මෙන් තම නව ජීවිතය ආරම්භ කිරීමට නියමිතව තිබුණා.


ටොම්ස්ක් වෙත පැමිණි වහලුන් නොවන වහලුන්

පිටුවහල් කළ සිරකරුවන් ගෙන් 90,000ට ආසන්න පිරිසක්, 1933 අප්‍රියෙල් මාසය තුළ මධ්‍යම රුසියාවේ දුරබැහැර නගරයක් වූ ටොම්ස්ක් වෙත ගෙන එනු ලැබුවා. එලෙස ගෙන එන අතරේ දී සිය ගණනක් වූ සිරකරුවන් විවිධ හේතු නිසා මරණයට පත්වුණා. මෙතරම් විශාල පිරිසක් සඳහා ටොම්ස්ක් නගරය කිසිදු පෙර සූදානමකට ලක්ව නොතිබුණු නිසාත්, ගෙන එනු ලැබූ පිරිස කලබලයට පත් වී ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් නිර්මාණය වීමට තිබූ ඉඩකඩ නිසාත්, බලධාරීන් සිරකරුවන් රැඳවීමට කර්කශ සහ පාළු ස්ථානයක් තෝරා ගත්තා. ඒ අනුව ඕබ් ගඟ මධ්‍යයේ මිනිස් පහස කලාතුරකින් ලද නසිනෝ දූපත, සිරකඳවුරක් මෙන්ම සමූහ ගොවිපලක් ද ලෙස එලෙසින් කරළියට පැමිණුනා.

මුල් වාරයේ, නසිනෝ දූපත කරා යැවූ සිරකරුවන් පන්දහසක් දැව ප්‍රවාහනය කරන යාත්‍රා හතරක පටවා, ඕබ් ගඟ දිගේ කිලෝමීටර් 800ක් පමණ පහළට ප්‍රවාහනය කිරීම ඇරඹුණා. කෑම සඳහා මෙම සිරකරුවන්ට දවසකට ලැබුණේ ග්‍රෑම් 300ක් බරැති පාන් ගෙඩියක් වන අතර එය ජර්මනියේ පවත්වා ගෙන ගිය කූප්‍රකට අවුෂ්විට්ස් කඳවුරේ සිරකරුවන්ට දුන් කෑම වේල ප්‍රමාණයේ බව සඳහන් වෙනවා. ඒ වනවිටත් අසනීප තත්ත්වයන් හා සාගින්න නිසා පුද්ගලයන් 27 දෙනෙකු ගමන අතරතුරේ දී මිය ගොස් තිබුණා.

1933 මැයි මස 18 වන දින මෙම සිරකරුවන් පිරිස නසිනෝ දූපත වෙත ළඟා වුණා. පිරිසෙන් පන්දහසකට ආසන්න මේ විශාල සිරකරුවන් කණ්ඩායමෙන් ඉක්මණින්ම ගැලවීමට අවශ්‍ය වූ නිසාම, දූපතට කිසිදු සැපයුමක් ලබාදීමට ටොම්ස්ක්හි බලධාරීන් අපොහොසත් වුණා. සිරකරුවන් දූපතට පැමිණියේ නවාතැන් පහසුකම් හෝ මඩුවක් හෝ තනා ගැනීමට අවැසි ගොඩනැගිලි ද්‍රව්‍ය ද නොමැතිව යි. එදින රාත්‍රියේම සිරකරුවන් 295 දෙනෙකු අධික ශීතල මැද එළිමහනේ නිදාගත් නිසා මියැදුණා. පසුදා උදෑසන, සිරකරුවන් වෙනුවෙන් පාන් තැනීමට වෙහෙසකාරී නිසා සෑම සිරකරුවෙකුටම අමු පාන් පිටි ග්‍රෑම් 200 බැගින් ලබා දීමට තීරණය කෙරුනා. ඉතිරි පාන් පිටි ටොන් විස්ස, ගඟෙන් එගොඩ පිහිටි කඳවුරේ තබා ගැනීමට ඔවුන් තීරණය කළා. පාන් සාදාගැනීමට කිසිදු පහසුකමක් නොතිබූ නිසා අධික කුසගින්නේ සිටි සිරකරුවන්, අපිරිසිදු ගංගා ජලය සමග පාන් පිටි මිශ්‍ර කොට අමුවෙන්ම ආහාරයට ගැනීමට තරම් අසරණ වුණා. ඒ හේතුවෙන් අතීසාරය වැළඳී තවත් බොහෝ පිරිසක් අකාලයේ මිය ගියා.


නසිනෝ දූපත උඩු ගුවනේ සිට දර්ශනය වන අයුරු

දින කිහිපයක් ඇතුළත නසිනෝ දූපතේ සිරකරුවන්ට කෑමට කිසිවක් නොතිබූ නිසා සොල්දාදුවන් දූපත වෙත ආහාර ප්‍රවාහනය කිරීමට පටන් ගත්තා. එහෙත්, එලෙස ආහාර රැගෙන ආ පළමු දිනයේම කුසගින්නේ සිටි සිරකරුවන්, සොල්දාදුවන්ට පහරදීමට පටන් ගත් අතර සොල්දාදුවන් ඔවුන්ට වෙඩි තැබීමට පටන් ගත්තා. මේ ආරවුල්වල ප්‍රතිඵලයක් ලෙස සිරකරුවන් 150 දෙනා බැගින් වූ කණ්ඩායම්වලට වෙන් කොට, ඒ ඒ කණ්ඩායම්වලින් පත් කළ නියෝජිතයන් මා‍ර්ගයෙන් ගං ඉවුරේ සිට දූපතට ආහාර රැගෙන ඒමට බලධාරීන් තීරණය කළා. මෙලෙස පත් කළ නියෝජිත සුළුතරය තම පැවැත්ම උදෙසා උදා වූ අවස්ථාව දැක, ආහාර උදෙසා රැගෙන ආ පිටිවලින් කොටසක් තමා සන්තකයේ තබා ගැනීමට ක්‍රියා කළා. ආරක්ෂකයන්, ඔවුන්ගේ පැත්තෙන් මෙම වංචනික ක්‍රියා නැවැත්වීමට කිසිවක් කළේ නැහැ. කිලෝමීටර් තුනක දිගකින් සහ මීටර් හයසියයක පළලින් යුතු නසිනෝ දූපත නම් කුඩා බිම්කඩේ සිරවී සිටි පන්දහසකට ආසන්න පිරිසක් මෙලෙස සියළු භෞතික සහ මානසික පීඩාවන්වලින් පරිපීඩිතව කල් ගත කළා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස නසිනෝ දූපත මිහිපිට අපායක් බවට ඉක්මණින්ම පරිවර්තනය වුණා.


මිනී කන්නන්ගේ දූපතක් වූ නසිනෝ

මැයි 25 වැනි දින කඳවුරේ වෛද්‍යවරයෙකුට යම් භයානක දසුනක් දැක ගැනීමට ලැබුණා. දූපතේ මිය ගිය සිරකරුවෙකුගේ අත් පා අතුරුදහන් වී ඇති බව නිරීක්ෂණය කළ එම වෛද්‍යවරයා වහාම ටොම්ස්ක් නගරයේ උසස් නිළධාරීන්ට එය දැනුම් දෙනු ලැබුවා. නමුත් දුටු දේ නොසලකා හරින ලෙස බලධාරීන් ගෙන් එම වෛද්‍යවරයාට නියෝග ලැබුණ අතර ඔවුන් සෝවියට් සමූහාණ්ඩුවට නුසුදුසු, සිරකරුවන් ලෙස පමණක් ලෙස සැලකූ නිසා කිසිවෙක් ඔවුන් කෙරෙහි අවධානය යොමු කළේ නැහැ. සොල්දාදුවන් ඉතා අමානුෂික ලෙස මෙම සිරකරුවන්ට සැළකූ අතර ඔවුන්ව හිතුමතේ මරා දැමීම, කුසගින්නෙන් පෙළෙන සිරකරුවන්ට පාන් කැබලි විසි කරමින් අවඥා කිරීම, පාන් කැබැල්ලක් වෙනුවෙන් දූපතේ සිරවී සිටින කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක්කිරීම වැනි පහත් ක්‍රියා සිදු කළා. කිසිවෙකු හෝ දැඩි ශීතල මධ්‍යයේ ඕබ් ගංගාව තරණය කොට එගොඩ වීමට තරම් වාසනාවන්ත වුවහොත්, කඳවුරු බැඳ සිටි සොල්දාදුවන් විනෝදයට කරන දඩයමක් සේ සළකා ඔවුන්ට වෙඩි තබනු ලැබුවා.


අධික කුසගින්න නිසා සිරකරුවන්ට තම සගයන්ව ආහාරයට ගැනීමට සිදුවුණා 

මැයි 27 වැනිදා තවත් සිරකරුවන් දහසක් පැමිණීමත් සමග දූපතේ තත්ත්වය තවත් නරක අතට හැරුණා. මෙතරම් සිරකරුවන් පිරිසක්, ශීතල දේශගුණයක් සහිත වගුරු බිමක් වැනි දූපතක දිවි ගෙවීම අතිශය දරුණු තත්ත්වයක් නිසාම සිරකරුවන් තම ජීවන අරගලය උදෙසා කුමක් හෝ කළ යුතුව තිබුණා. අවසානයේ සිරකරුවන් කල්ලි ලෙස සංවිධානගත වී දිවයින පුරා සැරිසරමින් ආහාර සඳහා දුර්වලයන් ගොදුරු කර ගැනීම, ආහාර සඳහා මිනී මැරීම සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. උක්ත වෛද්‍යවරයා කළ නිරීක්ෂණය අනුව කළ උපකල්පනය සනාථ කරමින් දූපත අමු අමුවේම මිනිසුන් මරා අනුභව කරන ම්ලේඡයන්ගේ දූපතක් බවට වේගයෙන් පරිවර්තනය වුණා.


නසිනෝවේ ම්ලේඡත්වය ඇසින් දුටුවන්

දිවි ගලවාගත් එක් සිරකරුවෙක් වසරකට පසු මේ මිනීමස් බුදීම ගැන මෙලෙස අදහස් ප්‍රකාශ කර තිබුණා.

"මම අනුභව කළේ අක්මාව සහ හදවත පමණ යි. ඒක ඉතා සරල දෙයක්. අපි විලෝ ගහේ අතුවලින් මස් පුච්චන්න පහසු වෙන්න ලී කූරු සාදා ගත්තා. කපාගත් මස් කැබලි, දල්වා ගත් ගිනිමැල මඟින් පුළුස්සා ගෙන කෑමට ගත්තා. මම තෝරා ගත්තේ මරණය පෙනි පෙනි සිටිමින් ඉන්න දුර්වල මිනිසුන් පමණ යි. ඔවුන් දින දෙක තුනක් ඇතුළත ජීවිතයෙන් සමුගන්නා බව පැහැදිලියි. තවත් දින කිහිපයක් දුක් විඳ විඳ ඉන්නවාට වඩා ඔවුන්ට ඒක පහසුවක්”

ස්වදේශික ඔස්ටියැක් කාන්තාවක් ද තමා කුඩා වියේ දී නසිනෝ දූපත සම්බන්ධයෙන් විඳි අත්දැකීමක් පසුකලෙක හෙළිදරව් කොට තිබුණා. ඇයට අනුව එක්තරා රාත්‍රියක නසිනෝ දූපතේ සිරබත් කන කාන්තාවක් ඔවුන්ගේ නිවසට ගෙනා බවත්, ඇයගේ දෙකකුල් රෙදිකඩකින් ඔතා තිබූ නිසා එය ඉවත් කළ විට ඇයගේ කකුල් කෙණ්ඩා ප්‍රදේශයෙන් කපා තිබෙන සැටි දුටු බව ඇය ප්‍රකාශ කර තිබුණා. වින්දිතයාට අනුව දූපතේ සිරකරුවන් පිරිසක් විසින් ආහාර වෙනුවෙන් එම කකුල් කපා ගෙන තිබුණා. නමුත් මේ සෑම හෙළිදරව්වකටම වඩා නසිනෝ දූපතේ ම්ලේඡත්වය ලෝකයට නිරාවරණය වූයේ, ඒ වනවිට දහතුන් හැවිරිදි වියේ පසු වූ ඔස්ටියැක් කාන්තාවක් දුටු අති අමානුෂික සිදුවීමක් නිසා යි. ඇය දිවයිනේ සිය පවුලේ අය සමග ගස්පොතු එකතු කරමින් සිටින අතරතුර, ආරක්ෂකයෙකු සමග ගඟෙන් එගොඩ කඳවුරේ රාත්‍රිය ගත කළ කාන්තාවක් ආපසු දූපතට පැමිණෙන සැටිත්, ඇය දූපතට ගොඩබට වහාම කුසගින්නෙන් පෙළෙන සිරකරුවන් පිරිසකට අසුවන සැටිත්, මේ ඔස්ටියැක් කාන්තාව දැක තිබුණා.

"මිනිස්සු ඒ කෙල්ලව අල්ලා ගත්තා. ඊට පස්සේ පොප්ලර් ගසක ඇයව ගැට ගහලා ඇයගේ පියයුරු, මාංශ පේශීන් වගේ ආහාරයට ගත හැකි සියල්ලම ඔවුන් කපා ගත්තා. ඔවුන් හිටියේ එතරම්ම කුසගින්නකින් නිසා මොනවා හෝ කෑමට ගත යුතුව තිබුණා. ආරක්ෂකයෙක් පැමිණෙන විටත් ඇය ජීවතුන් අතර සිටියා. නමුත් අධික ලේ වහනය නිසා ඔහුට ඇයව බේර ගන්න බැරි වුණා"


නසිනෝ දූපතේ ඛේදවාචකය අළලා පසුකලෙක වාර්තා වැඩසටහනක් නිපදවුණා

එම ඔස්ටියැක් ජාතික කාන්තාව තම අත්දැකීම එලෙසින් විස්තර කොට තිබුණා. කෙසේ නමුත් එම මිනීකෑමේ සිදුවීම් සැබැවින්ම සිදුවුනාදැ යි යන්නට සාක්ෂ්‍යයකට ඇත්තේ කීපදෙනෙකුගේ කට වචනය පමණ යි. එම නිසා ඒ පිළිබඳව පැහැදිලි යමක් පවසන්නට බැහැ. නසිනෝ දූපතේ සිරකරුවන් ගෙන් තම අභිප්‍රායන් ඉටු නොවූ නිසාත්, හටගත් භයානක වාතාවරණය නිසාත්, ස්ටාලින් පාලන තන්ත්‍රය නසිනෝ දූපතේ ගොඩනැඟූ මිහිපිට අපාය සති 13ක් තුළ වසා දැමුවා. ඒ වනවිට මුල් සිරකරුවන් හයදහස අතරින් ජීවත්වීමට වරම් ලබා සිටියේ 2200ක පමණ පිරිසක් පමණ යි.

දිවි ගලවාගත් අය ඉක්මනින් වෙනත් වැඩ කඳවුරුවලට නැව්ගත කළ අතර, මුරකරුවන් නැවත ටොම්ස්ක් වෙත කැඳවා, මේ තිරශ්චීන ක්‍රියාව ලෝකයෙන් සඟවා දැමීමට උපරිමයෙන් ක්‍රියා කළා. කෙසේ නමුත්, නසිනෝ දූපත, නැතහොත් රුසියාවේ ආඥාදායකයත්වයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මිනී කන්නන්ගේ දූපත, පැහැදිලිවම රුසියානු ඉතිහාසයට එල්ල වූ කළු පැල්ලමක් ලෙස අදටත් ඕබ් ගඟ මැද හුදෙකලාව සිටිනවා.


Monday, February 22, 2021

කවුරුත් නොදන්නා දියුණු ශිෂ්ටාචාරය🤔


 

 සපොටෙක්




මධ්‍යම ඇමරිකාවේ ඉතිහාසය පිළිබඳව ගවේෂණය කිරීමේ දී ප්‍රධාන අවධි තුනක් දක්නට ලැබෙනවා. එම අවධිවල දී මධ්‍යම ඇමරිකාව ආශ්‍රිතව ශිෂ්ටාචාරයන් කිහිපයක් බිහි වුණා. ඒ අතුරින් සපොටෙක් ශිෂ්ටාචාරය බිහි වුණේ පසු සංස්ථාන යුගයේ දී යි. වර්තමානයේ මෙක්සිකෝව පිහිටා තිබෙන භූමි ප්‍රදේශයේ ගොඩනැගී තිබුණු එම ශිෂ්ටාචාරය වසර 1000කට වැඩි කාලයක් පැවතුණා. එදා දියුණු මට්ටමක තිබුණු සපොටෙක් ශිෂ්ටාචාරයට අයත් නටබුන් අදටත් දක්නට ලැබෙනවා.

මධ්‍යම ඇමරිකානු ඉතිහාසයේ අවධි තුන

ක්‍රි.පූ 1500 සිට ක්‍රි.ව 150 දක්වා කාල සමය තුළ මධ්‍යම ඇමරිකානු ඉතිහාසය ප්‍රධාන අවධි 3කට වෙන්කර තිබෙනවා. ඒ මුල් සංස්ථාන, මධ්‍යම සංස්ථාන, සහ පසු සංස්ථාන යන අවධි තුන යි. එම යුගයන් තුනෙහි එකිනෙකට වෙනස් ලක්ෂණ දක්නට ලැබෙනවා.

1) මුල් සංස්ථාන යුගය (ක්‍රි.පූ. 1500-900)- චියපාස්, ඔක්සකා, ලාටිල්කෝ ප්‍රදේශ

2) මධ්‍ය සංස්ථාන යුගය (ක්‍රි.පූ. 900-300)- ශාන්ත ලොරෙන්සෝ, ලා වෙන්තා ප්‍රදේශ

3) පසු සංස්ථාන යුගය (ක්‍රි.පූ. 300-ක්‍රි.ව. 150)- කුයිකුල්කෝ, නයාරිත්, ජලිස්කෝ, කොලීමා ප්‍රදේශ


                                                                        චියාපාස් මැටි බඳුනක් 

සපොටෙක් ශිෂ්ටාචාරයේ ආරම්භය 

ක්‍රි.පූ 1200-400 කාල සමය තුළ මධ්‍යම ඇමරිකාව ආශ්‍රිතව ඔල්මෙක් නමින් ශිෂ්ටාචාරය පැවතුණා. මධ්‍ය සංස්ථාන යුගය අවසන් වන විට ඔල්මෙක් ශිෂ්ටාචාරයට අයත් නගර බිඳ වැටුණා. ඉන් පසුව පසු සංස්ථාන යුගය ආරම්භ වුණා. එම අවධියේ ආරම්භයත් සමගම මෙක්සිකෝ නිම්නය සහ එහි ද්‍රෝණිය ආශ්‍රිතව තවත් ශිෂ්ටාචාරයක් බිහි වුණා. ඒ සපොටෙක් නම් ශිෂ්ටාචාරය යි. මෙය මධ්‍යම ඇමරිකාව තුළ මායා ශිෂ්ටාචාරය බිහිවීමට පෙර ආසන්නතම අවධියේ දී පැවති ශිෂ්ටාචාරය යි. මොන්ටෙ ඇල්බාන් සහ තිඔතිහුවකාන් යන නගර සපොටෙක් ශිෂ්ටාචාර සමයේ ගොඩනැගුණු විශාලතම නගර දෙක ලෙසින් සැලකෙනවා. එම නගර තිබුණු ප්‍රදේශ ආශ්‍රිතව තවමත් නටබුන් දක්නට ලැබෙනවා.

                                           ඔල්මෙක් ශිෂ්ටාචාර සමයේ සෑදූ විශාල මිනිස් හිසක්


මොන්ටෙ ඇල්බාන් නගරය

මුල් සංස්ථාන යුගයේ දී ඔක්සකා නිම්නය ආශ්‍රිතව ජනාවාස බිහි වුණා. සන් ජොසේ මොගොටේ නම් ප්‍රදේශය තුළ සිදුකරන ලද කැණීම්වල දී පැරණි ගම්මානවල නටබුන් ද හමු වුණා. සන් ජොසේ මොගොටේ ප්‍රදේශයේ ජනාවාස විනාශයට පත්වීමෙන් පසුව ඒ අසන්නයේ මොන්ටෙ ඇල්බාන් නම් නගරයක් බිහි වුණා. උසැති කඳු ගැටයක් මත පිහිටි සමතලා භූමියක මෙම නගරය ගොඩනැගීම ආරම්භ වුණේ ක්‍රි.පූ 300 තරම් ඈත යුගයක යි. ඉතාමත් ආරක්ෂිතව ගොඩනැගූ මොන්ටෙ ඇල්බාන් නගරය තුළ ක්‍රමයෙන් ජනගහනය වැඩි වන්නට වුණා. ඒ අනුව ක්‍රි.පූ 200 පමණ වන විට 17,000ක පමණ ජනගහනයක් නගරය තුළ ජීවත්ව සිටියා. ඉතාමත් දියුණු වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉදිකර ඇති මෙම නගරය තිබුණු බවට එහි ඇති නටබුන් සාක්ෂ්‍ය සපයනවා. 


                                          මොන්ටෙ ඇල්බාන් නගරයේ නටබුන්

මොන්ටෙ ඇල්බාන් නගරය පැවති ප්‍රදේශයේ ඉදිකළ ගොඩනැගිලි අතරට දේවාල 20ක්, පන්දු පිටියක්, අමු මැටි සහ ගඩොල්වලින් ඉදිකළ මාලිගයක්, ප්‍රභූවරුන් සඳහා ඉදිකරන ලද කුටීර සහිත සොහොනක් අයත්ව තිබුණා. එලෙස ඉදිවුණු ඇතැම් ගොඩනැගිලිවල විශාල ප්‍රමාණයේ ගල් පුවරු සවිකොට තිබුණා. එම ගල්පුවරු මුහුණත්වල මිනිස් රූප වර්ගයක් කැටයම් කොට තිබීම සුවිශේෂී ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි. 

ගල් පුවරුවල දක්නට ලැබුණු මිනිස් රූප කැටයම් සොයාගත් මුල් අවධියේ දී ඉතිහාසඥයන් විසින් නිගමනය කළේ එම රූප මඟින් නැට්ටුවන් පිරිසක් නිරූපනය බවයි. නමුත් පසුකලෙක සිදුකරන ලද පර්යේෂණවලින් එම කැටයම් පිළිබඳව අනාවරණය කරගැනීමට හැකි වුණා. මෙහි ඇති සියළුම මිනිස් රූප නිරූපනය කර තිබෙන්නේ නිරුවත් මිනිස් රූප ලෙස යි. මධ්‍යම ඇමරිකානු ශිෂ්ටාචාරවල දී නිරුවත් බව, මහජනයා හමුවේ ප්‍රදර්ශනය නොකළ යුතු දෙයක් බවට පිළිගැනීමක් පැවතුණා. එම නිසා නිරුවත් මිනිස් රූප භාවිතා කර තිබුණේ සතුරෙකු හෝ යටත් කළ පුද්ගලයෙකු නිරූපණය කිරීම සඳහා යි. ඉන් නිගමනය කළේ මෙම රූප ඝාතනය කරන ලද සතුරු ප්‍රභූවරුන්ගේ රූප බව යි. එසේම මෙම පුවරුවල යම් දිනයක් දක්වා තිබෙනවා. එලෙස දක්වා ඇත්තේ සතුරා ඝාතනය කරන ලද දිනය විය හැකියි

                                          කැටයම් කරන ලද මිනිස් රූප


තිඔතිහුවකාන් නගරය 

ක්‍රි.පූ 300-100 අතර කාල සමයේ දී මධ්‍යම ඇමරිකාවේ ප්‍රදේශ රැසක් විනාශයට පත්වුණේ ගිනි කඳු විදාරණය වීම නිසා යි. එලෙස විනාශ වුණු ප්‍රදේශවල ජීවත් වුණු ජනයා තිඔතිහුවකාන් නිම්නය ආශ්‍රිත ප්‍රදේශවලට සංක්‍රමණය වී ජනාවාස පිහිටුවා ගත්තා. එම නිසා ක්‍රි.ව 100 පමණ වන විට තිඔතිහුවකාන් නගරය තුළ 60,000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වුණා. ඒ අනුව පැරණි මධ්‍යම ඇමරිකානු ශිෂ්ටාචාර ආශ්‍රිතව බිහි වුණු විශාලතම නගර අතරට මෙම නගරයත් අයත් වුණා.


                                          පැරණි තිඔතිහුවකාන් නගරය

පළමු සියවස පමණ වන විට ඉතාමත් සැලසුම් සහගතව ඉදිකර තිබුණු නගරය ආසන්නයේ සාමාන්‍ය ජනයා වාසය කළ ගම්මාන පිහිටා තිබුණා. එසේම නගරය තුළ ද විශාල පිරිසක් ජීවත් වුණා. ඔවුන් සතුව තිබුණු ගොවිබිම් නගරයෙන් පිටත පිහිටා තිබුණා. එම නිසා උදෑසන නගරයෙන් පිටතට ගොස් ගොවිබිම්වල වැඩ කළ නාගරිකයන් සවස් වන විට යළි නගරයට පැමිණීමට පුරුදුව සිටියා. නගරයේ ජීවත් වුණු ජනයාට වගාබිම් තුළින් විශාල ආදායමක් ලැබීමෙන් පසුව ඔවුන් ධනවත් වුණා. එවිට නගරය තවත් පුළුල් වුණේ ජනයා එහි පදිංචියට පැමිණි නිසා යි. ඒ අනුව ක්‍රි.ව 400 පමණ වන විට 125,000කට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් එහි ජීවත් වුණා. 

                                             නගරයේ ගොඩනැගිලි 


ක්‍රි.ව 700-800 පමණ වන විට නගරය වර්ග සැතපුම් 8.5ක් දක්වා විහිදී තිබුණා. එම කාල සමය තුළ නගරය මැදින් විහිදුණු රේඛාවක් ලෙස සැලසුම් කළ වීදියක් දක්නට ලැබුණා. එය මළවුන්ගේ වීදිය ලෙසින් හඳුන්වනු ලැබුවා. එසේම හිරු සහ සඳු වෙනුවෙන් ගොඩනගන ලද විශාල දේවාල දෙකක් නගරයේ උතුරු ප්‍රදේශය තුළ දක්නට ලැබුණා. ඉන් වඩාත් විශාල වුණේ හිරු දේවාලය යි. එහි පාදමේ ප්‍රමාණය මිසරයේ කුෆු පිරමීඩයේ පාදමට සමාන යි. තිඔතිහුවකාන් නගරය තුළ ඉතා ඉහළින් වන්දනාවට පාත්‍ර වුණු කල්පිත පියාපත් සහිත සර්පයෙකු සිටියා. එම සර්පයා වෙනුවෙන් ඉදිවුණු දේවාලය මළවුන්ගේ විදීයේ දකුණු කෙළවරේ පිහිටා ඇති මිදුලේ නැගෙනහිර දෙසින් නිර්මාණය කර තිබුණා. එකල මිනිස් බිලි පූජා පිරිනමන ලද්දේ එම සත්ත්වයාට යි.

                                           සර්පයා උදෙසා ඉදිකර තිබුණු දේවාලය


තිඔතිහුවකාන් නගරය තුළ ඉතාමත් දියුණු නිවාස පද්ධතියක් දක්නට ලැබුණා. නගරයේ පිහිටි පටු මාවත් දෙපස නිවාස පොකුරු ලෙසින් ඒවා පිහිටුවා තිබුණා. චතුරස්‍රාකාර හැඩයකට නිමවා තිබුණු සෑම නිවසක්ම හොඳින් කපරාරු කොට තිබුණා. එම නිවාසවල කාමර, මුළුතැන්ගේ, මැද මිදුලක් දක්නට ලැබුණ. එසේම සමහර නිවෙස් ආශ්‍රිතව කුඩා දේවාල ඉදිකර තිබුණා. එලෙස ඉදිකර තිබුණු නිවාසවල විවිධ වෙනස්කම් දක්නට ලැබුණා. ඉතිහාසඥයන් අනුමාන කරන්නේ නගරය තුළ ජීවත් වුණු මිනිසුන්ගේ පන්ති වෙනස එම වෙනස්කම්වලින් නිරූපණය වන බව යි.

අක්ෂර 

මායාවරුන් විසින් පුරාණ මධ්‍යම ඇමරිකානු අක්ෂර පද්ධතිය නිර්මාණය කළ බව මෑතක් වන තුරුම පැවති මතය යි. නමුත් සපොටෙක් ශිෂ්ටාචාර යුගයේ දී මොන්ටෙ ඇල්බාන් සහ තිඔතිහුවකාන් යන නගරවල ජීවත් වුණු මිනිසුන් අක්ෂර භාවිතා කළ බවට සාක්ෂ්‍ය හමුව තිබෙනවා. මොන්ටේ ඇල්බාන් නගරය තුළ පිහිටා ඇති ඩන්සාන්ටේ දේවාලවල ඇති පුවරුවල ලියා තිබෙන දින වකවානු තුළින් එයට නිදසුනක් ලෙසින් දැක්විය හැකියි. තිඔතිහුවකාන් නගරයෙන් ද එවැනි සාක්ෂ්‍ය හමු වුණා. ඒ නගරය තුළ පිහිටා ඇති ගොඩනැගිල්ලක කිසියම් අක්ෂර ක්‍රමයකට සටහන් කර තිබුණු රූප සංකේත 42 යි. මෑත යුගයේ දී මෙක්සිකානු පුරාවිද්‍යාඥයන් විසින් එම අක්ෂර ක්‍රමය සොයාගත්තා. ඔවුන් අනුමාන කරන්නේ 16 වැනි සියවසේ දී ඇස්ටෙක්වරුන් විසින් භාවිතා කළ අක්ෂර ක්‍රමයත් මෙම අක්ෂර ක්‍රමයත් අතර සබඳතාවයක් පැවතිය හැකි බව යි. එසේම ඔවුන් විශ්වාස කරන්නේ සැපොටෙක් ශිෂ්ටාචාරය යුගයේ ජීවත් වුණු මිනිසුන් නහුවා නම් භාෂාව භාවිතා කළ බව යි. මධ්‍යම ඇමරිකානු ඉතිහාසය තුළ බිහි වුණු දියුණු ශිෂ්ටාචාරයන් අතරට සපොටෙක් ශිෂ්ටාචාරයත් අයත් වන බව ඉන් නිගමනය කළ හැකියි. එසේම මෙක්සිකෝව තුළ ඉතිරිව ඇති නටබුන්වලින් එය තහවුරු කරගත හැකියි.



Friday, February 5, 2021

සමුදුරු පත්ලේ හුදෙකලා වූ අබිරහස් නගරය😲

 තෝනිස් හෙරක්ලියෝන්


අපි, ඇඟ ලොමු ඩැහැගන්වන ආකාරයේ අද්භූත පුරාවෘත්ත අසා ඇත්තෙමු. කාලයේ වැල්ලෙන් වැසී ගොස් අභිරහසක් බවට පත් වූ අතීත රාජධානි කොතෙක් නම් තවම රහසේ සැඟවී පවතිනවා විය හැකිද? ප්‍රංශ ජාතික ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ (Franck Goddio) නම් විසි එක්වන සියවයේ අති විශිෂ්ඨ සාගර පුරාවිද්‍යාඥයා විසින් වර්ෂ 2000දී තෝනිස් හෙරක්ලියෝන් (Thonis-Heracleion) පුරාණ රාජධානිය සමුදුරු පත්ලෙන් සොයාගැනීම වූ කලී අභිරහස් පුරාවෘත්තයක් ලොවට අනාවරණය කිරීමකි.

   ගවේශක ‍ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ


තෝනිස් හෙරක්ලියෝන් සොයා මෙහෙයුම්

තෝනිස් හෙරක්ලියෝන් නමැති අතුරුදහන් වූ පෞරාණික නගරය, ක්‍රි. පූ. 331 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ සමාරම්භයට පෙර, ග්‍රීක ලෝකයේ සිට ඊජිප්තුව කරා ප්‍රවේශවීමට පැවති ප්‍රධාන නැව්තොට ලෙස භාවිත වී ඇත. රාජ වංශයන්හි පාලනය සහ ඔවුන්ගේ පාලනය යටතේ ඉදි කර ආගමික පුද පූජා පැවැත්වූ අමුන් දේවස්ථානය හේතුවෙන් තෝනිස් හෙරක්ලියෝන් නගරය පුරාතන ලෝකය තුළ ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙම ගාම්භීර නගරය ක්‍රි.පූ. අට වන සියවසේ ඉදි කරන ලදැයි හඳුනාගෙන ඇත. ස්වභාවික ව්‍යසනයන් ගණනාවකට මුහුණ දුන් දැවැන්ත තෝනිස් හෙරක්ලියෝන්, ක්‍රි.ව. අට වන සියවස වන විට මධ්‍යධරණී මුහුදු පත්ලෙහි සිය රහස් මිහිදන් කර සැඟව ගියේය.


European Institute for Underwater Archaeology (IEASM) ආයතනයෙහි අධ්‍යක්ෂකවරයා වූ ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ විසින් තෝනිස් හෙරක්ලියෝන් සොයා මෙහෙයුම් ආරම්භ කරන විටත් මෙහි පිහිටීම පිළිබඳ කිසිදු මාර්ග ලකුණක් ඔවුන් සතුව නොතිබුණි. සැඟවීගොස් පුරාවෘත්ත බවට පත් වූ බැබිලෝනියාව, පොම්පෙයි, අභිරහස් ඇට්ලාන්ටිස් නගර මෙන් නොව තෝනිස් හෙරක්ලියෝන් නගරය පිළිබඳව නව ලොව තුළ කතාබහට ලක් වූයේ ඉතා අල්ප වශයෙනි. හුදු පෞරාණික ලේඛන සහ ශිලාලිපිවල කලාතුරකින් සටහන්ව තිබීම හැරුණු කොට මානව ප්‍රජාව වෙතින් තෝනිස් හෙරක්ලියෝන් පිළිබඳ මතකය සදහටම මැකී ගොස් තිබුණි.


ක්‍රි.පූ. පස් වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් විසින්, හෙරක්ලස් නම් වීරයා ඊජිප්තුවට පළමුවෙන් පා තැබූ ස්ථානයේ ඉදි කළ සුප්‍රසිද්ධ දේවස්ථානයක් ගැන පවසා ඇත. එමෙන්ම ට්‍රෝජන් යුද්ධයට පෙර හෙලන් සිය පෙම්වතා වූ පැරිස් සමඟ හෙරක්ලියෝන් නැරඹීමට පැමිණි බව ද හෙරඩෝටස් සඳහන් කරයි. හෙරඩෝටස්ගෙන් සියවස් හතරකට පමණ පසු ඊජිප්තුව වෙත පැමිණි භූ‍ගෝල විද්‍යාඥ ස්ට්‍රාබෝගේ (Strabo) නිරීක්ෂණයන්ට අනුව, හෙරක්ලස් දේවස්ථානය ස්ථාපිත කර තිබූ හෙරක්ලියෝන් නගරය, කැනෝපුස්ට නැගෙනහිර දෙසින් නයිල් නදියේ කැනොපික් ශාඛාවට මුහුණ ලා පිහිටා තිබී ඇත.


වර්ෂ 1933ට පෙර රාජකීය ගුවන් හමුදාවේ අණදෙන නිලධාරියෙක් අබුකර් නගරයට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී ජලය තුළ තිබෙන නටබුන්වල ඡායාවක් දැක ඇත. නමුත් ඒ පිළිබඳ විශේෂ ගවේශනයක් කිරීමට තරම් පසුබිමක් එකල නොපැවතිණි. විසිවන සියවසෙහි අවසාන භාගයෙහි Egyptian Supreme Council of Antiquitiesහි සහාය ද ලබාගනිමින් සිය කණ්ඩායම සමඟ අතුරුදන් වූ හෙරක්ලියෝන් නගරය සොයා ගවේශන ආරම්භ කළ පළපුරුදු සමුද්‍ර ගවේශක ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ, අබුකර් මුහුදු බොක්කෙහි (Aboukir Bay) බටහිර කොටසට කිලෝමීටර 11ත් 15ත් අතර කලාපය තුළ මෙම නගරය සැඟව ඇති බව ගණනය කරන ලදී. අදාළ සමුද්‍ර ප්‍රදේශය තුළ ජලයෙහි පැවති අඳුරු ස්වභාවය සහ විනිවිද නොපෙනීමෙහි ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ ගවේශනය වඩාත් අභියෝගාත්මක විය.

                          හෙරක්ලියෝන්හි පිහිටීම

සමුදුරු පත්ලෙන් මතු වූ නිධානය

ගවේෂණයෙහි ප්‍රතිඵලයක් ලෙස ෆ්‍රෑන්ක් ප්‍රමුඛ කණ්ඩායම අතීතයෙන් දොරටුවක් විවර කර රහස් ගණනාවක් අනාවරණය කරගන්නා ලදී. අමුන් දේවස්ථානය, හෙරක්ලස් හෙවත් කොන්සොවු (Khonsou), ඊජිප්තුව කෙරෙහි වූ සියලු වෙළඳ කටයුතු පාලනය කළ වරායන් මෙන්ම නගරවාසීන්ගේ දෛනික ජන ජීවිතයෙහි ස්වභාවය පවා මෙකී ගවේශනයන්හි ප්‍රතිඵලයක් ලෙස අනාවරණය කරගන්නා ලදී. ඊජිප්තු පුරාවිද්‍යාවේදීන් තුළ එතෙක් පැවති ප්‍රහේලිකාව විසඳාලමින්, හෙරක්ලියෝන් සහ තෝනිස් යනු නගර දෙකක් නොව, නම් දෙකකින් හැඳින්වූ එකම නගරයක් බව මෙම ගවේශනයෙන් තහවුරු කරගන්නා ලදී. ග්‍රීකයන් විසින් මෙම නගරය හෙරක්ලියෝන් නමින් හඳුන්වා ඇති අතර ඊජිප්තු ජාතිකයන් විසින් එය තෝනිස් යනුවෙන් හඳුන්වා ඇත.


සමුදුර පත්ලෙහි ගවේශන කටයුතු සිදු කරමින්



හෙරක්ලියෝන් සහ තෝනිස් යනු එකම නගරය හඳුන්වන ලද නම් දෙකක් බවට තහවුරු කෙරෙන ශිලා ස්ථම්භයක්

සමුදුරු පත්ලෙහි කරන ලද කැණීම් මගින් හෙරක්ලියෝන් නගරයෙහි විචිත්‍රත්වයත් පුරාතනයෙහි මෙම නගරය සතුව පැවති බල මහිමයත් අනාවරණය කරගන්නා ලදී. නගරයෙහි පැවති දේවස්ථානයන්හි චමත්කාරජනක ස්වභාවය, ඒවායෙහි ස්ථාපිත කර තිබූ දැවැන්ත ප්‍රතිමා, ශිලා ලිපි, ගෘහ නිර්මාණ ආකෘති, ආභරණ, කාසි, චාරිත්‍ර හා පුද පූජා පැවැත්වීමට භාවිත කළ මෙවලම්, කුඹල් සහ පිඟන් කර්මාන්තයන්හි නිමැවුම් අධ්‍යයනය කිරීම මගින් හෙරක්ලියෝන් නගරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට ෆ්‍රෑන්ක් ප්‍රමුඛ කණ්ඩායමට හැකි විය. සොයාගත් ප්‍රතිමා අතර මීටර් 5කට වඩා උසැති – රජෙකුගේ සහ රැජිණකගේ ප්‍රතිමා පැවති අතර, විවිධ මැණික් වර්ග, සත්ව රූ අඹන ලද හිරිගල් කැටයම් නිර්මාණ ද පැවතුණි.


මීටර් 5.4ක් උසැති හාපි (Hapy) දෙවිඳුන්ගේ ප්‍රතිමාවක්


නටබුන් ප්‍රතිමාවල ප්‍රමාණය මනිමින්


සමුදුරු පත්ලෙහි සැඟව තිබූ නටබුන් අනාවරණය කරගනිමින්

ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ක්‍රි.පූ. 4 වන සියවස දක්වා කාලය තුළ හෙරක්ලියෝන් ඉතා ඉසුරුමත් නගරයක් වූ බවට, එම යුගයට අයත් කාසි ප්‍රමාණය සහ පිඟන් භාණ්ඩ සාක්ෂ්‍ය සපයයි. තෝනිස් හෙරක්ලියෝන් වරාය තුළ පිහිටා තිබෙන දැවැන්ත තඩාග ගණනාව පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ, එය එකල ලෝක වෙළඳාම තුළ දැවැන්ත ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ බවයි. හෙරක්ලියෝන් වරායෙන් සොයාගත්, ප්‍රමාණයෙන් 700කට වඩා වැඩි, විවිධ ස්වරූපයන්ගෙන් යුත් පැරණි නැංගුරම් සහ ක්‍රි.පූ. 6වන සියවසේ සිට 2වන සියවස දක්වා කාල පරාසය තුළ සිදු වූ බවට කාල නිර්ණය කරන ලද නැව් මුහුදුබත් වීම් 60ක පමණ ප්‍රමාණය සලකා බලන විට මෙකී කරුණ තවදුරටත් තහවුරු වේ.

න‍ටබුන් ප්‍රතිමා ගොඩට ගනිමින්



නගරයෙහි සුන්බුන් 

හෙරක්ලියෝන් ජනපදය

අමුන් දේවස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඒ වටා හෙරක්ලියෝන් ජනපදය ව්‍යාප්තව තිබී ඇත. නගරය වටා පැවති ඇළ මාර්ග පද්ධතිය හේතුවෙන්, නගරය ජලාශයක් තුළ පිහිටා තිබෙන්නාක් වැනි දර්ශනයක් දිස් වී ඇත. මෙම ඇළ මාර්ග පද්ධතිය අතුරු ඇළ මාර්ග එකිනෙක සම්බන්ධ කර ඉදි කර තිබෙන අතර මෙකී ඇළ මාර්ග වරාය තුළ පිහිටා තිබෙන විශාල ප්‍රමාණයේ තඩාග වෙත සම්බන්ධිතය. නගරය පුරා අභ්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය; කාර්යක්ෂම, වේගවත් සහ විධිමත් එකක් කිරීම සඳහා මෙම යාන්ත්‍රණය සකස් කරන ලදැයි ගවේශනයන් මගින් අනාවරණය කරගන්නා ලදී.

හෙරක්ලියෝන් නගරයෙහි ආකෘතියක්

අද්විතීය හෙරක්ලියෝන් රාජධානිය වූ කලී අතීත මානව වංශ කතාව වෙත නූතනයේ ඇස යොමු කිරීමට සමත් වූ විශිෂ්ට ගවේශනයකි.









Friday, January 15, 2021

නයගරාව සුන්දර කරන මල් ඔරලෝසුව😍

 

                          නයගරාව සුන්දර කරන ල්ලෝසු




කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය උතුරු ඇමරිකා මහද්වීපය තුළ පිහිටා තිබෙන විශාලතම රටවල් ද්විත්වය යි. එම රටවල් දෙක වෙන් වන දේශ සීමාවේ සුප්‍රකට නයගරා දිය ඇල්ල පිහිටා තිබෙනවා. ලොව දක්නට ලැබෙන සුන්දරම දිය ඇලි අතුරින් එකක් වන නයගරා ඇල්ල නැරඹීමට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙනවා. එම සංචාරකයන් නයගරාවේ සුන්දරත්වය විඳගැනීමෙන් පසුව අනිවාර්යයෙන්ම නරඹන තවත් ස්ථානයක් තිබෙනවා. ඒ නයගරා උද්‍යානය තුළ පිහිටා තිබෙන අලංකාර මල් ඔරලෝසුව යි.

දිය ඇලි තුනක් එකතු වී සෑදුණු නයගරා ඇල්ල

ඊරි විලේ සිට ඔන්ටේරියෝ විල දක්වා ජලය රැගෙන යන නයගරා ගංඟාවෙන් හෝර්ස්ෂූ, බ්‍රයිඩ්ල් වේල්, සහ ඇමරිකන් යන දිය ඇලි ත්‍රිත්වය නිර්මාණය වී තිබෙනවා. එම දිය ඇලි එකතු වීමෙන් සෑදී ඇති නයගරා දිය ඇල්ල උසින් මීටර් 51ක් සහ පළලින් මීටර් 1204ක් වන විට එහි ජල ඝනත්වය තත්පරයට මීටර් 2400ක් පමණ වනවා. මීට වසර 18000කට පමණ පෙර පැවති අයිස් යුගයේ දී මෙම ප්‍රදේශය ඝනකම් අයිස් තට්ටුවකින් වැසී තිබුණා. එම අයිස් තට්ටුව දියවීම හේතුවෙන් පංච මහා විල් සහ නයගරා ගඟ නිර්මාණය වුණා. ඉන් අනතුරුව නිර්මාණය වුණු නයගරා දිය ඇල්ල වසර 12000ක් පමණ පැරණි යි. රටවල් දෙකක් වෙන් කරන නයගරා දිය ඇල්ලට ආසන්නයෙන් පිහිටා තිබෙන ප්‍රධාන නගර වන්නේ ඔන්ටේරියෝ සහ නිව්යෝක් යන නගර දෙකයි.


                                                             සුන්දර නයගරා දිය ඇල්ල 
                  

මල් ඔරලෝසුව පිහිටා තිබෙන ස්ථානය

නයගරා දිය ඇල්ලේ සිට ඔන්ටේරියෝ නගරය දෙසට කි. මී. 10ක් පමණ ගිය විට ඇඩම් බෙක් පළමු සහ දෙවන බලාගාර හමුවනවා. ඉන් ඇඩම් බෙක් පළමු බලාගාරය 1922 වසරේ දීත්, දෙවන බලාගාරය 1954 වසරේ දීත් ඉදිකර තිබෙනවා. ඊට අමතරව එම ප්‍රදේශය ආසන්නයේ ඔන්ටේරියෝ බලාගාරය පිහිටා තිබෙන ආකාරය දැකිය හැකියි. නව ඔන්ටේරියෝ බලාගාරය 1999 වසරේ දී ඉදිකර තිබුණත් ඊට පෙර එම ප්‍රදේශයේ පැරණි ඔන්ටේරියෝ බලාගාරයක් ක්‍රියාත්මක වුණා. 1906 වසරේ ආරම්භ කළ එම බලාගාරය 1999 වසරේ දී අක්‍රීය කරනු ලැබුවා. එම බලාගාර කිහිපය ආසන්නයේ ඉදිකර ඇති නයගරා උද්‍යානය තුළ සුප්‍රසිද්ධ නයගරා මල් ඔරලෝසුව නිර්මාණය කර තිබෙනවා.


                                                                      නයගරා උද්‍යානය

මල් ඔරලෝසුවේ ඉතිහාසය

1940 දශකයේ අග භාගය වන විට ආචාර්ය රිචඩ් ලැන්කැස්ටර් හර්න් නම් ඉංජිනේරුවා පැරණි ඔන්ටේරියෝ බලාගාරයේ කළමනාකරු මෙන්ම ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙසින් කටයුතු කළා. පැරණි ඔන්ටේරියෝ බලාගාරය අසල පිහිටා තිබුණු සුන්දර නයගරා උද්‍යානය තුළ මල් ඔරලෝසුවක් ඉදිකිරීම පිළිබඳව මුලින්ම කල්පනා කළේ ලැන්කැස්ටර් ඉංජිනේරුවා යි. 1885 වසරේ දී ආරම්භ කළ නයගරා උද්‍යානය තුළ එවැනි මල් ඔරලෝසුවක් ඉදිකිරීමේ අදහස ඔහුට පහළ වුණේ එඩින්බරෝ මල් ඔරලෝසුව දැකීමෙන් පසුව යි. 1903 වසරේ දී ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර ඉදි කළ එය ලොව පැරණිම මල් ඔරලෝසුව බවට පත් වුණා. 

එඩින්බරෝ මල් ඔරලෝසුව අධ්‍යයනය කළ රිචඩ් ලැන්කැස්ටර් ඊට වඩා විශාල ඔරලෝසුවක් නයගරා උද්‍යානයේ ඉදිකරනු ලැබුවා. 1950 වසරේ දී වැඩ නිමා කළ එම මල් ඔරලෝසුව අයත් වුණේ පැරණි ඔන්ටේරියෝ බලාගාරයට යි. එම නිසා ඔරලෝසුවේ මුහුණතේ ඉලක්කම් 12 වෙනුවට ONTARIO HYDRO යන අකුරු 12 සටහන් කර තිබුණා. නමුත් 1977 වසරේ දී නයගරා උද්‍යානයට ඔරලෝසුවේ නඩත්තු කටයුතු භාරදීමත් සමගම එහි NIAGARA PARKS යනුවෙන් සටහන් කරනු ලැබුවා. එම නිසා වර්තමානය වන විට මල් ඔරලෝසු මුහුණතේ සටහන් කර තිබෙන්නේ NIAGARA PARKS යන අකුරු 12 යි. 


                                  ONTARIO HYDRO ලෙස සටහන් කර තිබුණු අවධියේ රූපයක්

ඔරලෝසුව පිළිබඳව තවදුරටත් 

එඩින්බරෝ මල් ඔරලෝසුවේ විෂ්කම්භය අඩි 10ක් වන විට මෙම මල් ඔරලෝසුවේ විෂ්කම්භය අඩි 40ක් පමණ වනවා. නයගරා මල් ඔරලෝසුවේ අඩි 38ක් පමණ පළලින් යුත් භූමි ප්‍රදේශයක් පුරා විවිධ මල් වර්ග දක්නට ලැබෙනවා. එසේම ඔරලෝසුව වටා තිබෙන ජල උද්‍යානය එහි අලංකාරය තවත් වැඩිකර තිබෙනවා. නයගරා මල් ඔරලෝසු මුහුණත තුළ සුදුසු ආකාරයට මල් වර්ග වැවීම කරනු ලබන්නේ නයගරා උද්‍යානයේ සිටින උද්භිද විද්‍යාඥයන්ගේ අධීක්ෂණය යටතේ යි. සාමාන්‍යයෙන් මෙම ඔරලෝසුවට යොදාගන්නා මල් පැළවල ස්වරූපය වසරකට දෙවරක් වෙනස් කරයි. ඒ අනුව සිසිර සමයේ අළු පාටින් පැහැයෙන් දිස්වන මල් ඔරලෝසුව වසන්තයේ දී හරිත පැහැයෙන් දිස්වන්නේ වියෝලා මල් නිසා යි. දළ වශයෙන් මල් පැළ 24000 කින් පමණ සමන්විත මෙම ඔරලෝසුව වඩාත් අලංකාර වන්නේ එහි සිටුවා ඇති සියළුම පැළවල මල් හටගැනීමෙන් පසුව යි. 


                                           නයගරා මල් ඔරලෝසුව වර්තමානයේ දී දිස්වන අයුරු 

 භාවිතා කර තිබෙන තාක්ෂණය

මෙම ඔරලෝසු මුහුණත තුළ දක්නට ලැබෙන පැය කටුව අඩි 14.5ක දිගකින් යුක්ත වන විට මිනිත්තු කටුව අඩි 17.5ක දිගකට සාදා තිබෙනවා. ඊට අමතරව මෙහි මුහුණතේ දක්නට ලැබෙන තත්පර කටුව අඩි 21ක පමණ දිගකට නිර්මාණය කර තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එසේම මෙම ඔරලෝසුවේ කටු තුනෙහි බර රාත්තල් 1250ක් පමණ වනවා. ශබ්දවාහීනී යන්ත්‍රයක් මඟින් සෑම විනාඩි 15කට වරක්ම මෙහි ඔරලෝසු නාදය විසුරුවා හරිනවා. එම කාර්යය සඳහා අශ්වබල 5කින් යුත් යන්ත්‍රයක් භාවිතා කරනවා. මෙහි ඔරලෝසු යාන්ත්‍රණය තෙල්වල ධාවනය වන අතර එය 2 hp-three-phase squirrel cage මෝටරයක් මඟින් මෙහෙයවනු ලබනවා. නමුත් දැන් එය 1500 RPM synchronous මෝටරයකින් ක්‍රියා කළ හැකි ආකාරයට සකස් කර තිබෙනවා. නයගරා මල් ඔරලෝසුව නිර්මාණය කළ අවධියේ එහි සියළුම තාක්ෂණික කටයුතු සිදුකරනු ලැබුවේ පැරණි ඔන්ටේරියෝ බලාගාරයේ කාර්යය මණ්ඩලය යි. 


                                                              මල් ඔරලෝසුවේ කටු

දැනට වසර 43ක සිට නයගරා මල් ඔරලෝසුව නඩත්තු කරන්නේ නයගරා උද්‍යානයේ කාර්යය මණ්ඩලය යි. මෙම මල් ඔරලෝසුවේ මුල් අයිතිකරුවන් වුණු පැරණි ඔන්ටේරියෝ බලාගාරය අද එහි දක්නට නැහැ. එසේම මෙය නිර්මාණය කළ ඉංජිනේරුවරයා වුණු රිචඩ් ලැන්කැස්ටර් ද අද ජීවතුන් අතර නැහැ. නයගරා මල් ඔරලෝසුව සෑදීමට දායක වුණු සියළුදෙනාම අද ජීවතුන් අතර නොසිටියත් ඔවුන් කළ විශිෂ්ට නිර්මාණය තව දිගු කලක් යන තුරු නොනැසී පවතිනු ඇති. 


ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත😮

  සොකොත්‍රා ගැලපගෝස් දූපත් සමූහය ගැන ඇතැම් විට ඔබ අසා ඇති. මෙම දූපත්වල සුවිශේෂී සහ සංවේදී පරිසර පද්ධතිය නිසා ජීවී පරිණාමය පිළිබඳ න්‍යායක් ගො...